නීතිඥයකු මාර්ගයෙන් අධිකරණයට බාරවු දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලීම සඳහා පත් කර ඇති ජනාධිපති පරීක්ෂණ කොමිසමේ ලේකම් පර්ල් කේ. විරසිංහ මහත්මියට එරෙහිව නිකුත් කොට තිබු වරෙන්තුව ආපසු කැඳවනු ලැබු ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හෙට (12) දිනයේදී අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ඇයට නියම කළේය.
තම සේවාදායිකාව අදාළ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ ලේකම්වරිය පමණක් බවත් එම කොමිසමේ කටයුතු සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ඇයට හැකියාවක් නොමැති බවත් කියමින් ඇය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ සෙනරත් ජයසුන්දර මහතා ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගනිමින් විනිසුරු මඩුල්ල එලෙස නියම කළේය.
වනජීවී දෙපාර්තමෙන්තුවේ තිබු අලි ලියාපදිංචි කරන පොත කූඨ ලෙස වෙනස් කොට බලපත්ර නොමැති අලි පස්දෙනෙකු ළඟ තබා ගත් බවට චෝදනා කරමින් නීතිපතිවරයා පවරා ඇති නඩුවට අදාළව පොලිස් නිලධාරීන් විසින් තබන ලද සටහන් අඩංගු පොලිස් උධෘත අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මුල් අවස්ථාවේදී අදාළ කොමිසමේ ලේකම්වරියට නියම කරනු ලැබුවත් ඇය ඒ අනුව කටයුතු නොකිරීම නිසා ඇය වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියම කරමින් අධිකරණය වරෙන්තු නිකුත් කරනු ලැබීය.
අධිකරණයෙන් නිකුත් කළ වරෙන්තතුව ක්රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් ඊයේ (10) මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සැලකිල්ලට ගත් විනිසුරු මඩුල්ල දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයාබැලීම සඳහා ජනාධිපතිවරයා විසින් කොමිසමක් පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ කොමසාරිස්වරුන්ගේ අත්තනෝමතික ක්රියාකලාපය මෙන්ම රජයේ නිලධාරිනියක් අත්අඩංගුවට ගැනීමට පොලිස්පතිවරයාට ඇති නොහැකියාව දැඩි ලෙස විවේචනය කෙරිණි.
රජයේ නිලධාරිනියක් අත්අඩංගුවට ගැනීමට පොලිස්පතිවරයාට නොහැකිවීම බරපතළ ගැටලුවක් බවත් මෙවැනි නිලධාරීනියක් අත්අඩංගුවට ගැනීමට නොහැකි නම් පොලිස්පතිවරයා බරපතළ අපරාධ සහ ත්රස්තවාදි කටයුතු මැඩ පවත්වන්නේ කෙසේද යන ප්රකාශය මතු වන බවත් අවධාරණය කළ විනිසුරු මඩුල්ලේ සභාපති විකුම් කළුආරච්චි මහතා කොමිසමේ ලේකම්වරිය ලබන 12 වැනිදාට පෙර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලිස්පතිවරයාට නියම කරමින් දෙවැනි වරටත් වරෙන්තු නිකුත් කළ අතර 12 වැනිදාට පෙර විරසිංහ මහත්මිය අත්අඩංගුවට ගැනීමට නොහැකි වූවොත් ඒ පිළිබඳව පෞද්ගලිකවම අධිකරණය හමුවේ පෙනී සිට පොලිස්පතිවරයා කරුණු දැක්විය යුතු බවටද නියම කොට තිබිණි.