අරලියගහ මන්දිරය මංගල උත්සව සඳහා ලබාදෙනවාද යන්න සහ ඒ සඳහා අයකරන මුදල කොපමණද යන්න තොරතුරු දැනගැනීමේ පනත යටතේ අගමැති කාර්යාලයෙන් විමසීමක් කළ බව දූෂණ විරෝධී හඬ සංවිධානය සඳහන් කරයි.
අගමැතිවරයාගේ නිල නිවස වන අරලියගහ මන්දිරය ජනතාවගේ බදු මුදල්වලින් නඩත්තු වන බවත්, මේ නිසා පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතාගේ මංගල උත්සවය පැවැත්වීම සඳහා අය කළ මුදල පිළිබඳව විමසීමක් කළ බවද එම සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා සඳහන් කළේය.
අරලිය ගහ මන්දිරය ආසන්න ශාලාවක මෙම කටයුත්ත සිදුකළ බවට ප්‍රකාශ සිදු කරමින් තිබෙන බවත් එහෙත් සියලුම ගොඩනැගිලි අරලියගහ මන්දිරයට අයත් බවත්,මේ නිසා මහජන දේපළ අවභාවිත කිරීමට හැකියාවක් නොමැති බවද පවසා සිටියේය.
රටේ සාමාන්‍ය ජනතාව මගුල් කන්නේ දුක් මහන්සියෙන් හම්බු කරගත් මුදල්වලින් බවත් එහෙත් දේශපාලනඥයන් මහජන මුදල්වලින්ම මගුල් කන බවටත් පෙන්නුම් කරන බවද සඳහන් කළේය.
මීට අමතරව අරලියගහ මන්දිරයේදී මංගල උත්සව පැවැත්වීමේදී රාජ්‍ය ආරක්ෂාව ලබාදෙනවාද යන්න හා ඒ සඳහා අය කර මුදල පිළිබඳවත් විමසීමක් කළ බවද සමරසිංහ මහතාපවසා සිටියේය.