අගමැති නිල නිවස වන අරලියගහ මන්දිරය තුළ එක්සත් ජාතික පක්ෂ නායකයන් හා පාක්ෂිකයන් රැඳී සිටියද නීතිමය පියවරයක් නොගැනීමට තීරණය කළ බව අග්රාමාත්ය ලේකම් සිරිසේන අමරසේකර මහතා අද (30දා) පැවසීය.
එහි නිරවුල් කටයුතු සඳහා අග්රාමාත්ය අතිරේක ලේකම්වරයෙකුට බලය පවරා තිබෙන බවද ඒ මහතා ප්රකාශ කළේය.
හිටපු අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා ඉදිරි දින කිහිපය තුළ තම කාර්යාලය පවත්වාගෙන යෑමට සුදුසු ස්ථානයක් තෝරාගත් පසු අරලියගහ මන්දිරයෙන් ඉවත්ව යනු ඇතැයි විශ්වාස කරන බවද අග්රාමාත්ය ලේකම්වරයා සඳහන් කළේය.
අරලියගහ මන්දිරය ලබාදෙන ලෙස අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා තමන්ට බලකිරීමක් සිදුකර නොමැති බවත්, එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයන් අරලියගහ මන්දිරයට අලාභහානි සිදුකර තිබුණොත් ඔවුන්ගෙන් එය අයකර ගැනීමට සිදුවන බවත් හෙතෙම පවසා සිටියේය.