මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී රජයට රුපියල් කෝටි 68 පාඩුවක් සිදුවන අන්දමින් මහා පරීමාණ චෝදනා ලැබු ශ්‍රී ලංකා මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා ලංකාවට පිටුවහල් කරන්නැයි ඉල්ලා නීතිපතිවරයා තෙවැනි වරටත් සිංගප්පුරූවට ලේඛණ යෑවු බව පළමු ස්ථිර විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයට දැනුම් දුන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය සිංගප්පූරූ නීතීපතිවරයා එම ලේඛණ සලකා බලමින් සිටින බව අද දැනුම් දුන්නාය.
ශ්‍රී ලංකා මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා ඔහුගේ නම අර්ජාන් ඇලෙක්ස්සැන්ඩර් ලෙස මේ වන විට වෙනස් කරගෙන ඇති බව ජාත්‍යයන්තර පොලිසිය විසින් ශ්‍රී ලංකා පොලිසියට දැනුම් දී ඇතැයි නීතීපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය මීට පෙර අවස්ථාවකදී විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයට දැනුම් දී තිබිණි.
එමෙන්ම මෙම නඩුවේ 10 වැනි විත්තිකරු වන පර්පචුවල් ටේරෂරීස් සමාගමේ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයකු වු අජාන් ගාර්දිය පුංචිහේවා නමැති විත්තිකරු ලංකාවට ගෙන්වා ගැනීම සදහා අදාළ සිතාසිය විදේශ කටයුතු අමාත්‍යංශය මාර්ගයෙන් මලයාසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට බාරදීමට විනිසුරු මඩුල්ල නියම කළේය.
ස්ථිර ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ විනිසුරු මඩුල්ලේ විනිසුරුවරුන් ලෙස කටයුතු කරන චම්පා ජානකී රාජරත්න (සභාපති විනිසුරු) දමිත් තොටවත්ත සහ නාමල් බණ්ඩාර බලල්ලේ යන මහත්ම මහත්මීන් හමුවේ මෙම නඩුව කැදවනු ලැබු අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය මේ බව දැනුම් දුන්නාය.
මෙම නඩුව සදහා අධිකරණයේ පෙනී නොසිටීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියම කරමින් ස්ථිර විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය මීට පෙර අවස්ථාවකදී වරෙන්තු නිකුත් කළ අතර එම වරෙන්තුව ඉංග්‍රීසි භාෂාවෙන් නිකුත් කිරීමටද විනිසුරු මඩුල්ල නියම කොට තිබිණි.
මෙම නඩුව කැදවනු ලැබු අවස්ථාවේදී මෙම නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙකු හැර අනෙකුත් විත්තිකරුවන් අධිකරණයේ පෙනී සිටියේ නැත.
රජයට රුපියල් කෝටි 68 කට අධික පාඩුවක් සිදුවු මෙම බැදුම්කර වංචාවෙන් රටේ ආර්ථිකයට සිදුවු අහිතකාර බලපෑම, බැදුම්කර වංචාවේ බරපතලකම මෙන්ම සංකීර්ණත්වය සැලකිල්ලට ගනිමින් නීතීපතිවරයා මෙම නඩුව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ගොනු කොට ඇත.