2019 මුදල් වර්ෂය සඳහා රජයේ අයවැය නොවැම්බර් මස 08 වැනිදා ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණද, එය නොවැම්බර් මස 05 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිප ත්කිරීමට රජය තීරණය කර ඇත.
අයවැය යෝජනාවලිය මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබන දිනය මෙසේ සංශෝධනය කිරිමට තීරණය කර ඇත්තේ පෙරේදා (17දා) රැස්වූ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදීය.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පෙරේදා සවස ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම පවත්වා ඇත.
ඒ අනුව නොවැම්බර් මස 08 වැනිදා ඉදිරිපත් කිරිමට සැලසුම් කර තිබූ අයවැය කතාව නොවැම්බර් මස 05 වැනිදා ඉදිරිපත් කිරීමට නියමිතය. අයවැය යෝජනාවලිය නොවැම්බර් 08 වැනිදා ඉදිරිපත් කර දෙසැම්බර් 08 වැනිදා දක්වා පැවැත්විමට මීට පෙර තිරණය කර තිබූ අතර, එම දින ප්‍රමාණවත් නොවන බවට විපක්ෂය කළ ඉල්ලීම සලකා මෙම තීරණය ගෙන තිබේ.
දින 26ක කාලයක් අයවැය විවාදය පැවැත්වේ. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා නොවැම්බර් මස 05 වැනිදා සවස අයවැය කතාව ඉදිරිපත් කරන අතර, පාර්ලිමේන්තුව පස්වරු 2.00ට රැස්වීමට නියමිතය.
නොවැම්බර් මස 07 වැනිදා සිට නොවැම්බර් මස 14 වැනිදා දක්වා අය වැය දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්වෙන අතර 14 වැනිදා සවස අය වැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත. ඉන්පසු අමාත්‍යංශ වැය ශීර්ෂ පිළිබඳ කාරක සභා අවස්ථාවේ විවාදය පැවැත්වේ. සෙනසුරාදා දිනවලද විවාදය පැවැත්වීමට නියමිතය. දෙසැම්බර් 08 වැනිදා අයවැය අවසන් ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.