අය වැය හිඟය පියවීමට වැඩකරන ජනතාවගේ අවුරුදු 05 ක EPF, ETF අරමුදල බිල්ලට
ආණ්ඩුව විසින් වැඩකරන ජනතාවගේ විශ්‍රාම ගැනීමේ වයස අවුරුදු 55 සිට 60 දක්වා වැඩිකිරීම පිටුපස යටි අරමුණක් සැඟවී තිබෙන බවත් එම යටි අරමුණ වන්නේ, වසරකට විශ්‍රාම යන 100,000 ක පමණ පිරිසකගේ සේවක අර්ථසාධක පාරිතෝෂිකය ලබානොදී එය ආණ්ඩුවේ අයවැය හිඟය පියවාගැනීමට යොදවා ගැනීම බව හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
මෙය පැහැදිලිවම ජනතාව මුලා කිරීමක් බවත්, ඉදිරි අවුරුදු 05 දි (2020 – 2026) අඩුම තරමින් රුපියල් බිලියන 500 ක් පමණ මේ ආකාරයට ජනතාවට ලබානොදී තමන් සතු කරගැනීමට ආණ්ඩුවට හැකියාව ලැබෙන බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.
හිටපු අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ අද(25) සමගි ජන බලවේගය ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,
“මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් ඉදිරිපත් කළ 2021 අයවැය කතාවේ තිබුණ එක් විශේෂ ලක්ෂණයක් තමයි වියදම් යෝජනා ඉදිරිපත් කරල තිබුණත්, සාමාන්‍යයෙන් අයවැය කතාවක එන ආදායම් යෝජනා කිසිවක් ඉදිරිපත් කර නොතිබීම. ඇතැම් යෝජනාවල වියදම් පාර්ශවයට වන බලපෑම පිළිබඳව නිශ්චිත ඉදිරිපත් කිරීමක් කරල තිබුණෙත් නෑ.
අයවැයෙන් පස්සෙ රජයේ ඒ ක්රියාපිළිවෙත්වල යටි අරමුණ පැහැදිළි කර ගැනීම අත්‍යාවශ්‍ය වෙනවා. උදාහරණයක් විදියට ගත්තොත් ශ්‍රී ලාංකික රාජ්‍ය අංශයේ, ඒ වගේම පෞද්ගලික අංශයේත් සේවකයින්ට විශ්‍රාම යෑමේ වයස අවුරුදු 55 සිට 60 දක්වා දීර්ඝ කරන්න රජය එක පාරටම තීරණය කරල තියෙනවා. රටේ මිනිසුන්ගේ ආයු කාලය ඉහල යෑමත් එක්ක ලෝකය පුරාම ඒ 55 සීමාව වෙනුවට ක්‍රමයෙන් අවුරුදු 60 – 62 දක්වාම විශ්‍රාමික වයස ඉහළ දමල තියෙනවා. ඒක ආයු කාලය වැඩිවීමත් එක්ක සිදුවන ස්වභාවික දෙයක්. නමුත් කිසිම රටක් එකපාරට මේ විදියට අවුරුදු 55 ඉඳන් 60 දක්වා වැඩි කරන්න ක්‍රියාකරල නෑ, මොකක්ද මේකෙ යටි අරමුණ ?

ඒ තමයි අවුරුදු 05 ක් විශ්‍රාම යන පිරිසගේ සේවක අර්ථසාධක අරමුදල්වල මුදල් පිටට ලබාදීම වැළැක්වීම. උදාහරණයක් විදියට අදට අපට තියෙන සේවක අර්ථසාධක අරමුදල්වල වාර්තාව තමයි 2016 වාර්තාව. එම 2016 වාර්තාවට අනුව සේවක අර්ථසාධක අරමුදල් දෙකේ ආසන්නයෙන් රුපියල් බිලියන 2,900 ක් පමණ අරමුදල් තියෙනවා. ඒ වගේම එහි ගිණුම් 2,600,000 ක් තියෙනවා. වර්ෂයකට 100,000 කට ආසන්න පිරිසක් හැම අවුරුද්දෙම විශ්‍රාම යමින් ඉන්නවා.
මෙන්න මේ අයගේ සේවක අර්ථසාධක පාරිතෝෂිකය ලබානොදීම තමයි මේ ආණ්ඩුවේ යටි අරමුණ. මොකක්ද මේකෙන් වෙන්නෙ ? මේකෙන් මේ ඉදිරි අවුරුදු 05 දි (2020 – 2026) අඩුම තරමින් රුපියල් බිලියන 500 ක් පමණ මේ ආකාරයට මිනිසුන්ට ලබානොදී ආණ්ඩුවට තමන් සතු කරගන්නත්, එය අයවැය හිඟය පියවාගැනීමට යොදවා ගන්නත් පුළුවන්. මේක පැහැදිළිවම ජනතාවට කොලේ වහල ගැහිල්ලක්.
2025 නව ආණ්ඩුවක් බලයට පත්වුණොත් ඒ නව ආණ්ඩුවට එක පාරටම මේ මුදල ගෙවන්න සිද්ධ වෙනවා. වර්තමාන පොලී අනුපාතයන් එක්ක ගත්තහම මේ මුදල ඔය බිලියන 500 වෙන්නෙ නෑ, සමහරවිට බිලියන 600 ක් 700 ක් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ආණ්ඩුවේ ආදායමෙන් 40% ක් පමණ වැය කරන්න වෙනවා ETF, EPF ගෙවීම සඳහා. එය ඊළඟ ආණ්ඩුවට විශාල බරක්. වැඩකරන ජනතාවගේ පැත්තෙන් විශාල බරක් මේ අයවැය යෝජනාවත් එක්ක එකතු කරල තියෙනවා.
අයවැය කතාවේ කිසිම ආකාරයකින් නොකියපු දෙයක් ආණ්ඩුව සිදුකළා ගැසට් නිවේදනයකින්. ඒ තමයි භාණ්ඩ හා සේවා 2574 කට අලුතෙන් සෙස් බදු ඇතුළත් කළා. අපේ රජය යටතේ අපි ඒ කාලෙ භාණ්ඩ 1600 ක සෙස් බදු අයින් කළා. ඒ සෙස් බදු අයින් කිරීමෙන් බලාපොරොත්තු වුණා ඒ අවස්ථාවෙදි කරුණු දෙකක්. එකක් මේ ආනයනික භාණ්ඩවල මිල පාලනය කර ගැනීම. දෙක මේ ආනයනික භාණ්ඩ එක්ක දේශීය කර්මාණ්තවල තරඟකාරීත්වයක් ඇතිකර ගැනීම.
මේ නිසා ආසන්නයෙන් රුපියල් බිලියන 60 ක් පමණ ඒ ආණ්ඩුවට නැති වුණා. ඒ අනුව අලුතෙන් සෙස් බදු පැනවීම නිසා ආණ්ඩුව අනිවාර්යෙන්ම බලාපොරොත්තු වෙනවා රුපියල් බිලියන 70 – 80 ක් වාර්ෂිකව තමන්ගේ ආදායමට එකතු කරන්න. හැබැයි ඒක අයවැයේදි කිව්වෙ නෑ. මේ ඇත්තටම ජනතාවට කරන බරපතල වංචාවන්.
මේ ජනාධිපතිතුමා බලයට පත් වූ වහාම 2019 ඔහුගේ ආර්ථික උපදේශකයින්ගේ උපදෙස් මත ඔහු විසින් කළ ඉතාම අමනෝඥ මෝඩ ආර්ථික උපාය මාර්ගය වෙච්ච ධනපතියන්ට බදු සහන ලබාදීමේ නව ලිබරල් ප්‍රතිපත්තිය ට ප්‍රතිචාරය තමයි මේ ලැබෙන්නෙ. එදා ඒ දුන්නු දැවැන්ත බදු සහනෙන් රටේ ආදායමෙන් (ආදායම බිලියන 2000 ක් පමණ) බිලියන 600 ක් පමණ එක පාරටම අපිට නැතිවෙලා ගියා.
ඛනිජ තෙල්වලින් අති විශාල ලාභයක් ආණ්ඩුවට ලැබෙමින් තියෙනවා. පසුගිය වසර පුරාම එක පැත්තකින් විදුලිබල මණ්ඩලයටත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවටත් ලැබෙන ලාභයේ වාසිය ජනතාවට දුන්නේ නෑ මේ ආණ්ඩුව. ඒ වාසිය මේ රටේ පාරිභොගිකයාට දුන්නේ නෑ.
මේ කිසිවක් කරන්න මේ ආණ්ඩුවට බැරි වුණේ මොකක් නිසාද අර මෝඩ ප්‍රතිපත්තිය නිසා. ඒ නිසා සිද්ධ වෙලා තියෙනවා ETF, EPF නොගෙවා අවුරුදු 05 ක් ඒක හිරකරගෙන ඉන්න, ඒ වගේම සෙස් බදු පනවලා පිටරටින් එන භාණ්ඩවල මිළ ගණන් ඉහළ දමන්න. විශේෂයෙන්ම කර්මාන්තවලට ගෙන්වන භාණ්ඩ වලට.
අපි ආණ්ඩුවෙන් බෙහොම පැහැදිළිව ඉල්ලනවා මේ EPF, ETF වල නිල අයිතිය වැඩකරන ජනතාවට කරුණාකරල ලබාදෙන්න. ධන කුවේරයින්ට දීපු බදු සහන අයින් කරගෙන ඒ සහන ජනතාවට ලබාදෙන්න. ඒ වගේම මේ ගජමිතුරුවාදය ගැන අපි බොහොම උනන්දුවෙන් බලාගෙන ඉන්නවා. ඒ අයට ඒ ආකාරයට අපේ රටේ ධන කොල්ලයට ඉඩ දෙන්න බෑ, ඒවා සෑම කෙනෙකුටම තරඟකාරී පදනමින් සෑම ව්යවසායදායකයෙකුටම තමන්ට නිසි අවශ්‍ය කොටස ලබාගැනීමට නිසි තරඟකාරීත්වය ලබාගැනීමට කටයුතු කිරීමට අවස්ථාව ලබාදිය යුතුයි.”
popular news
-
priyanka Wednesday, 25 November 2020 05:35 PM
obatumage kathawa attha may anduwa salli karainta adu poliya loan dunna siyaluam wasi tattwayan delath company karayo sewakayanta dunna deyak na un posath wenawa podi minihata loan ekakwath ganna na bank eken ape epf eka aran daruwange wada karala denna balan eddi mun ekath huran kanna hadanne mun puluwan taram hora kala podi minihatamai arinne dan minissutta sambolai batui kannath ba
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

