තමන් කුඩා කාලයේදී සිංගපූරු වැසියන් කොළඹ වරායේ සේවය කළ නමුත් මේ වන විට ශ්‍රී ලංකා වැසියන් සිංගප්පූරුවේ නිවාසවල සේවය කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
30 වන ජාතික යොවුන් ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවයට සහභාගි වෙමින් අග්‍රාමාත්‍යවරයා ඊයේ (25දා) මාතර දී මේ බව ප්‍රකාශ කළේය.
“අප කුඩා කාලයේ දී සිංගප්පූරු වැසියන් කොළඹට පැමිණ කොළඹ වරායේ සේවය කළා. නමුත් අද අපේ ශ්‍රී ලාංකිකයන් සිංගප්පූරුවේ නිවාසවල සේවය කරනවා. ඔවුන්ගේ රට එවැනි දියුණුවක් ලබාගෙන තිබෙනවා. ලෝක වෙළෙඳපොළ තුළ සිංගප්පූරුව තරග කරනවා.
ඒ හැකියාව ශ්‍රී ලංකාව තුළ ද ඇති කර ගත හැකියි. නමුත් ඒ සඳහා රටේ තරුණ තරුණියන්ට අවශ්‍ය වෘත්තීයමය දැනුම සහ පුහුණුව ලබාදීම අත්‍යවශ්‍ය වෙනවා. වෘත්තීය දැනුම ඇති කණ්ඩායම් රට තුළ වැඩි වන විට රට දියුණු කරමින් ඉදිරියට ගෙන යාමට හැකියි.
සෑම තරුණ තරුණියකටම වෘත්තීය පුහුණුව ලබාදීමේ වැඩ සටහන එලැඹෙන වසරේ සිට අප ආරම්භ කරනවා. ප්‍රාථමික අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය, වෘත්තීය අධ්‍යාපනය ආදී සියලු අංශයන්ගෙන් ඔබ සියලු දෙනාව දැනුම්වත් කිරීම අපේ අරමුණයි. එවිට රටේ තරුණ පරම්පරාව ශක්තිමත් වෙනවා.
රැකියාවක් කිරීමට අවශ්‍ය පුහුණුව තිබෙනවා නම් එම තරුණ තරුණියන්ට ජීවිතය ඉදිරියට ගෙන යාමට හැකියි. අපේ රජයේ මූලික අරමුණ වන්නේ මේ රටේ ආර්ථිකය අපනයන ආර්ථිකයක් බවට පත් කිරීමයි.
පුහුණුව, මුදල් යන අවශ්‍යතා දෙකම ඔබට සපුරා දීම අපේ අරමුණයි. තොරතුරු තාක්ෂණ පුහුණුව සඳහා 16,000 ක පිරිසකගේ පුරප්පාඩුවක් ඇතිව තිබෙනවා. විවිධ සමාගම්වල තිබෙන තොරතුරු තාක්ෂණ පුරප්පාඩු 16,000 ක් පිරවීමට තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය පුහුණුව ලබාදිය යුතුයි. එම වැඩසටහන් අප මේ වන විට ආරම්භ කිරීමට කටයුතු සූදානම් කර තිබෙනවා.”