අයිස් කැට වැස්සක් සමග කහටගස්දිගිලිය ගම්මාන කිහිපයකට බලපෑම් එල්ල කරමින් හදිසියේ හමා ගිය දරුණු ටොර්නාඩෝ තත්ත්වයක් හේතුවෙන් නිවාස 44 කට පූර්ණ හා අර්ධ හානී සිදුවී, විදුලිය බිඳ වැටී, මහ මාර්ග රැසක් අවහිරව ඇති බව කහටගස්දිගිලිය ප්රදේශීය ලේකම් කාර්යාලයේ අපදා ඒකකය පවසයි.
ඊයේ (23දා) සවස අයිස් වර්ෂාව සමග ඇතිවූ ටෝනාඩෝ තත්වයෙන් කහටගස්දිගිලිය ප්රාදේශිය ලේකම් කොට්ඨාශයේ මහවැව ග්රාම නිලධාරී බල ප්රදේශයේ නිවාස 20කටත් දිවුල් වැව ග්රාම නිලධාරී බල ප්රදේශය් නිවාස 10 කටත්, ටික්කම්පොතාන ග්රාම නිලධාරි ප්රදේශයේ නිවාස 03කටත්, කොහොඹගස්කඩ ග්රාම නිලධාරී බල ප්රදේශයේ නිවාස 10කටත්, පුංචි හල්මිල්ලෑව ග්රාම නිලධාරී බල ප්රදේශයේ නිවාස එකකටක් හානි සිදුව තිබෙන බව අපදා කළමණාකරණ ඒකකය පවසයි.
මේ අතරින් නිවාස තුනක වහලයන්හි සෙවිලි මුළුමනින්ම ගැලවී ගොස් බරපතළ අලාභ හානී සිදුව තිබෙන බවත්, තවත් නිවාස දෙකකට සැලකිය යුතු මට්ටමේ හානී සිදුවී තිබෙන බවත් ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කරයි. නිවාසවලට බරපතළ අලාභ හානි සිදුවූවත් කිසිදු පුද්ගලයෙකුට ශාරීරික හානියක් සිදුව නැති බව ආපදා කලමණාකරන ඒකකය සඳහන් කළේය.
ගස් කඩා වැටීම නිසා කහටගස්දිගිලිය ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ අවහිරවූ මාර්ග යථා තත්ත්වයට පත්කිරීමට කහටස්දිගිලිය ප්රාදේශීය සභාව අපදා කළමණාකරන ඒකකය පොලීසිය හා ප්රදේශවාසීන් එක්ව කටයුතු කළ අතර, බිඳ වැටුණු විදුලිය නැවත යථා තත්වයට පත්කිරීමට විදුලි මණ්ඩලය කටයුතු කරමින් සිටී.
හානි සිදුව ඇති නිවාසවල හානිය තක්සේරු කර කඩිනමින් වන්දි මුදල් ලබා දෙන බවත්, රුපියල් දස දහසට වැඩි අලාභයන් සඳහා අත්තිකාරම් වශයෙන් රුපියල් දසදහසක් ලබාදෙන බවත් කහටගස්දිගිලිය ප්රාදේශිය ලේකම් සුදර්ශන දිසානාය මහතා සඳහන් කරයි.
අනුරාධපුර - බී.ජී. චතුරංග