අනුරාධපුර පූජා නගරයේ සිටි කොවිඩ් 19 රෝගය වැලදුණු යාචකයෙකු අනුරාධපුර ශික්ෂණ රෝහලට නොදැනුවත්ව ඇතුලත් කිරීම හේතුවෙන් රෝහලේ අංක 17 වාට්ටුව අද (8දා) තාවකාලිකව වසා දැමූ බව අනුරාධපුර ශික්ෂණ රෝහලේ වැඩ බලන අධ්යක්ෂ වෛද්‍ය දුලාන් සමරවීර මහතා පැවසීය.
මෙම යාචක රෝගියා හදිසියේ අසනීප තත්වයකින් අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබෙන අතර, එහිදි සිදු කල පී.සී.ආර් පරික්ෂාවේදි ඔහු කොවිඩ් 19 රෝගය ආසාදිත බවට තහවුරුවී තිබුණි.
අදාල රෝගියා පසුගිය දින 20 ක පමණ කාලයක් අනුරාධපුර පැරණි පූජා නගරයේ සැරිසරා තිබෙනා බවත් පූජා නගරයේ ගැවසුණු පුද්ගලයන් දින 14ක කාලයක් ස්වයං නිරෝධායනය වීම ඉතා යෝග්‍ය බව මහජන සෞඛ්‍ය පරික්ෂක අංශ පවසයි.
මේ අතර ඊයේ (07දා) අනුරාධපුර ශික්ෂණ රෝහලේ වාට්ටු අංක 19ට කොවිඩ් 19 සුව වී ස්වයං නිරෝධායනය වූ අනුරාධපුර මහමාංකඩවල පදිංචි පුද්ගලයෙකු හදවත් රෝගී තත්වයක් නිසා ඇතුලත්වි ඇති අතර, ඔහුටත් කොවිඩ් 19 වෛරස තත්වය නැවත පෙන්නුම් කරන බව පී.සී.ආර් පරික්ෂනයෙන් අනාවරණයවි තිබේ.
පසුව එම රෝගියා මෙත්සිරි සෙවන කොවිඩ් රෝග ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත මාරු කළ බව රෝහල් ප්‍රකාශකයකු පැවසීය.
මේ සම්බන්ධයෙන් සිදු කල විමසීමේදි අනුරාධපුර ශික්ෂණ රෝහලේ වැඩ බලන අධ්යක්ෂ වෛද්‍ය දුලාන් සමරවීර මහතා පැවසුවේ මෙත්සිරි සෙවන රෝහලේ ඇදන් ප්‍රමාණය වැඩිකර රෝගින් ඇතුලත් කිරීමට අවශ්‍ය පියවර මේ වන විට ගෙන ඇති බවයි.