අනුරාධපුර ශික්ෂණ රෝහල ඉදිරිපිට හා ඒ අවට පිහිටි ආපනශාලා ඇතුළු වෙළදසැල් පහළොවක් පමණ වසාදැමීම අනුරාධපුර මහ නගර සභාවේ නාගරික කොමසාරිස් රුවන් විජේසිංහ මහතාගේ නියෝගයක් අනුව අද (23දා) දහවල් සිදුවුණු අතර නැවත දැනුම් දෙනතුරු එම වෙළදසැල් විවෘත කිරිමට අවසර නොදෙන බව අනුරාධපුර මහ නගර සභාවේ සෞඛ්‍ය අංශ පවසයි.
කොවිඩ් 19 වෛරස වසංගතය බෝවිමේ අවධානමක් ඇතිවි තිබෙන අවස්ථාවක රෝහලට පැමිණෙන්නන් මගින් රෝහලට කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම වැලක්විමේ පියවරක් වශයෙන් ශික්ෂණ රෝහල අවට ආපනශාලා වෙළදසැල් සියල්ලම වසාදැමු බව නාගරික කොමසාරිස් රුවන් විජේසිංහ මහතා පැවසුවේය.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු කොමසාරිස්වරයා මෙසේ පැවසීය.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගින්ගේ සුවදුක් බැලිම සදහා විවිධ ප්‍රදේශවල පදිංචි විශාල පිරිසක් අනුරාධපුරයට පැමිණෙනවා.
ඒ අතර කොවිඩ් 19 වෛරසය වැලදුණු යම් අයෙකු ඉදලා මේ ආපන ශාලවකට වෙළදසැලකට යම් භාණ්ඩයක් ගන්න ආවොත් මුළු රෝහල පුරාවට මේ රෝගය ආසාදනය වීමේ හැකියාවක් තියනවා. ඒ නිසා රෝහල ඉදිරිපිට තිබෙන ආපනශාලා පළතුරු වෙළදසැල් හා වෙනත් ද්‍රව්‍ය අලවිකරනා විශාල වශයෙන් ජනතාව ගැවසෙන වෙළදසැල් 15ක් පමණ වසාදැමුවා.
අනුරාධපුර ශික්ෂණ රෝහල් පරිශ්‍රය තුල පිහිටි ආපනශාලාව වසාදැමීමට පියවර ගත්තේ නෑ. නමුත් එම ආපනශාලාවේ වගකීම වෛද්‍යවරුන් අතුළු රෝහල් කාර්ය මණ්ඩලය වගබලා ගතයුතුයි යනුවෙන් කොමසාරිස්වරයා පැවසුවේය.
අනුරාධපුර - බී.ජී.චතුරංග