ලක්ෂ ගණනක් බැතිමතුන් සහභාගී කරවා ගෙන විවිධ ආගමික සංවිධාන මගින් සතිඅන්තයේ අනුරාධපුර පූජා නගරය ආශ්‍රිතව සිදු කරනු ලබන ආගමික උත්සව තාවකාලිකව නතර කිරීම සඳහා අටමස්ථානාධිපති නාහිමිපාණන් ඇතුළු නායක හිමිවරුන්ගේ දැනුවත් කිරීමට බලාපොරොත්තු වන බව අනුරාධපුර මහ දිසාපති නීතිඥ ආර්.එම්. වන්නිනායක මහතා අද (16දා) මහතා පැවසීය.
අනුරාධපුර දිස්ත්‍රික්කයට නව කොරෝනා වෛරසය ඇතුළු වුවහොත් එය මර්දනය කිරීමට ගත හැකි පියවර සම්බන්ධයෙන්, රාජ්‍ය ආයතන ප්‍රධානීන් සමග පැවති සාකච්ඡාවකදී හෙතෙම මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දිසාපතිවරයා ,
දැනට අනුරාධපුර දිස්ත්‍රික්කයේ කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන එක රෝගියෙක් පමණයි සිටින්නේ, මෙම වෛරසය ආසාදනය වුවහොත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර ගැනීම සඳහා, පූර්ව සූදානමක් වීම තමයි මෙම සාකච්ඡාවේ අරමුණ. එහිදී සියලු රාජ්‍ය ආයතන වලට ඇතුල්වීමේදී අත් සෝදා පිරිසිදු වී ඇතුල්වීමට වැඩපිළිවෙලක් සකස් කිරීමට පියවර ගනු ලැබුවා.
ඒ වගේම මේ වන විට ජනතාව අනවශ්‍ය බියකට පත් වෙලා සිටිනවා. එම බිය නැති කිරීම සඳහා ජනතාව දැනුවත් කිරීමට අවශ්‍ය පියවර ගනු ලැබුවා. නව කොරෝනා වෛරසය පිළිබඳව නිවැරදි තොරතුරු එක් රැස් කරන්න පුළුවන් විදියට අනුරාධපුර දිස්ත්‍රික්කයේ මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට ද පියවර ගත්තා.
දිස්ත්‍රික්කයක් හැටියට නිරෝධායන මධ්‍යස්ථාන ආරම්භ කිරීමට අවශ්‍ය තැන් හා සැක සහිත රෝගීන් පිළිබඳව නිශ්චිතවම දැන ගන්නා තෙක් නේවාසිකව සිටීම සඳහා වෙනම ස්ථාන, ප්‍රතිකාර කිරීමට පුළුවන් ස්ථාන කිහිපයක් අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ හඳුනා ගනු ලැබුවා.
ඒ වගේම ආධ්‍යාත්මික වශයෙන් සෑම විහාරස්ථානයකම රතන සූත්‍රය සජ්ජායනා කිරීම වැනි, ආශිර්වාදාත්මක වැඩසටහන් කිහිපයක්ම සංවිධානය කර තිබෙනවා. විශේෂයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ විශේෂ ආරක්ෂාවක් යොදවා වෛරස ඇතුළු වීම වැළැක්වීම සඳහා සෞඛ්‍ය, ආරක්ෂක ඇතුළු සියලු රාජ්‍ය අංශය කටයුතු කිරීමටද අද තීරණය කරනු ලැබුවා.
පිටරට සිට පැමිණෙන පුද්ගලයන් සිටී නම් ඒ පිළිබඳව තොරතුරු රැස් කිරීමට අවශ්‍ය පියවර ගන්නවා.