අද දින (13) පෙරවරුවේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් රථයක් ගිනි ගැනීම සම්බන්ධව හා මින් පෙරත් මෙවැනිම ආකාරයෙන් අධිසුඛෝපභෝගී බස් රථයක් ගිනි ගැනීම සම්බන්ධව වහාම තමන්ට වාර්තාවක් ලබා දෙන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරින්ට උපදෙස් දි තිබේ.
මේ සම්බන්ධව කළ සොයා බැලීම්වල දී හෙළි වුයේ අද දින (13) ගිනිගත් සුඛෝපභෝගී බස් රථය ලංගමට අයත් එකක් නොව එය ලංගම යටතේ ධාවනය වන පුද්ගලික බස් රථයක් බවයි.
මෙම බස් රථය ලංකා ගමනාගමන මණ්ඩලය විසින් මිලදී ගන්නා ලද එකක් නොවන අතර දැනට කිලෝමීටර් ලක්ෂ 10ක් පමණ වන දුරක් ධාවනය කර ඇති බස් රථයකි. එම බස් රථය ලංගම කෝටාව යටතේ අධිවේගී මාර්ගයේ ධාවනය සඳහා යොදවා ඇති අතර එම බස් රථය උපයන ආදායමෙන් සියයට 15ක් ලංකා ගමනාගමන මණ්ඩලයට ගෙවනු ලබයි.
කෙසේ වුවද අමාත්‍යාංශයේ ලේකම්වරයා හට උපදෙස් දුන් අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ ආකාරයෙන් යොදවා ඇති සෙසු බස් රථ සම්බන්ධව ද වහාම සොයා බලන ලෙසත්, එම බස් රථ සම්බන්ධව තාක්ෂණික වාර්තාවක් වහාම ලබා දෙන ලෙසත් උපදෙස් දි තිබේ.
ඇතැම් රියදුරන් විසින් විවිධ අවශ්‍යතා සඳහා විදුලි පරිපථ වෙනස් කිරීමට යාමෙන් මෙවැනි අනතුරු සිදුවීම බහුල බවත් එමනිසා ඒ සම්බන්ධව ද අවධානය යොමු කරන ලෙසත් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලංකා ගමනාගමන මණ්ඩලයේ විමර්ශන ඒකකයට නියෝග කළේය.