අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති පෙත්සම ලබන පෙබරවාරි මස 07 වැනිදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (23දා) තීරණය කළේය.
මෙම පෙත්සම කැඳවනු ලැබූ අවස්ථාවේ ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගනිමින් ශ්‍රේෂ්ඨාධිකරණය එලෙස තීරණය කළේය.
මෙම පෙත්සම විජිත් මලල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු සහ එස්. තුරේරාජා යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ කැඳවන ලදී.
මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර, එච්. සිරිල් සහ ප්‍රියශාන්ත ගුණවර්ධන යන මහත්වරුන් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබිණි.
'ජාතික එකමුතුව' විසින් මරදාන ප්‍රදේශයේ පැවැත්වූ රැස්වීමක් අමතමින් සරත් නන්ද සිල්වා මහතා කළ කතාවකින් අධිකරණයට අපහාස වී ඇති බව සඳහන් කරන එම මහාචාර්යවරුන් සරත් සිල්වා මහතාට එරෙහිව ඒ සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙස ඉල්ලීමක්ද කර ඇත.
සරත් සිල්වා මහතා කළ කතාව අඩංගු වීඩියෝ පටයක්ද අධිකරණයට ඉදිරිපත් කරමින් අදාළ ඉල්ලීම කරන පෙත්සම්කරුවෝ, අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් සරත් සිල්වා මහතාට චෝදනා පත්‍රයක් ඉදිරිපත් කරන ලෙස ඉල්ලීමක්ද කර තිබේ.
මෙම පෙත්සම ඊයේ (23දා) කැඳවනු ලැබූ අවස්ථාවේදී සරත් සිල්වා මහතා ජනාධිපති නීතිඥ රෝමේෂ් ද සිල්වා මහතා සමග අධිකරණයේ පෙනී සිටිමින් මෙම පෙත්සම සම්බන්ධයෙන් දැන ගැනීමෙන් අනතුරුව අධිකරණයට පැමිණි බවත්, මෙම පෙත්සම ඊයේ (23දා) දිනයේදීම විමසීමට තමන් සූදානම් බවත් දැනුම් දුන්නේය.
පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා කරුණු ඉදිරිපත් කරමින් මෙම පෙත්සම විමසීමට තමන්ද සූදානම් බවට දැනුම් දුන්නේය.
කෙසේ වුවද, ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම පෙත්සම ලබන පෙබරවාරි මස 07 වැනිදා කැඳවීමට නියම කළේය.