නඩු ප්‍රමාදය අවම කර අධිකරණ පද්ධතිය කාර්යක්ෂම කිරීම සදහා සියලු දෙනාට විශාල වගකීමක් පැවරී ඇති බවත් අධිකරණ ගොඩනැගිලි ඉදි කිරීමේදී එය අවම වශයෙන් ඉදිරි වසර 30 සරිලන පරිදි සැළසුම් කළ යුතු බවත් මේ සියල්ලෙහි අවසානයෙහි ප්රතිඵලයන් පොදු ජනතාව වෙත ගලා ගෙන යා යුතු බවත් අධිකරණ අමාත්‍ය නීතිඥ අලි සබ්රි මහතා පවසයි .
ගල්කිස්ස අධිකරණ සංකීර්ණයෙහි පවතින අවශ්‍යතා සොයා බැලීමේ විශේෂ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
එහිදී අදහස් පළ කළ අමාත්‍යතුමා මෙසේ සදහන් කළේය.
මේ වසරේ අධිකරණ පද්ධතියේ යටිතල පහසුකම් සදහා රුපියල් බිලියන 20 ක් වෙන් කර ඇති බවත් අධිකරණ පද්ධතියේ යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමේදී අදාළ අධිකරණයේ විනිසුරුවරුන් නීතිඥ සංගමයේ සාමාජිකයින් සමග ද සාකච්ඡා කර සංවර්ධන කටයුතු කළ යුතු බවත් එකී සංවර්ධන ක්‍රියාදාමය අවසන් වන තෙක් ඔවුන්ගේ අදහස් ලබා ගත යුතු බවත් සදහන් කළේය.
වසර හතරක් තුළ සමස්ත අධිකරණ පද්ධතියම ඩිජිටල් කරණය කිරීම සදහා වු වැඩ පිළිවෙළක් ආරම්භ කර ඇති බවත් නවීණ තාක්ෂණය සමග ඉදිරියට යා යුතු බවත් ඉදිරියේදී තවදුරටත් විනිසුරුවරුන් මෙන්ම අධිකරණයේ ධාරිතාව වැඩි කිරීමේ ක්‍රමවේදයක් සැකසිය යුතු බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.
මුල් අදියර යටතේ ගල්කිස්ස අධිකරණ සංකීර්ණයෙහි ගොඩනැගිලිවල අවශ්‍ය ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින් සිදු කරන බවත්, ඉදිරියේදී නව අධිකරණ සංකීර්ණයක් ගල්කිස්ස අධිකරණ පරිශ්‍රය තුළ ඉදි කිරීමට පියවර ගන්නා බවත් අමාත්‍යතුමා සදහන් කළේය.