මුලතිව් ගුරුකන්ද විහාරාධිපතිගේ ආදාහනය වෙනුවෙන් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගය කඩකල ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇතුළු පිරිස් වහාම අත්අඩංගුවට ගන්නා ලෙසට බලකරමින් අද (26) වවුනියාවේ ස්ථාන දෙකකදී විරෝධතා වැඩසටහන් සංවිධානය කොට තිබුණි.
වවුනියාව නගරයේ පැරණි බස් නැවතුම්පළ සහ සෙට්ටිකුලම් සමෘද්ධි කාර්යාලය ආසන්නයේ පැවති මෙම විරෝධතාවන් ප්‍රදේශයේ තරුණ සංවිධාන හා සිවිල් සංවිධාන විසින් සංවිධානය කොට තිබුණි.
වවුනියාව පැරණි බස් නැවතුම්පළ ඉදිරිපිට පැවති විරෝධතාවය වවුනියාවේ තරුණ සංගමය විසින් සංවිධානය කොට තිබූ අතර ඒ වෙනුවෙන් සහභාගී වූ පිරිස් කියාසිටියේ මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගය කඩ කල පිරිස් වෙනුවෙන් වහාම පොලිස් පරික්ෂණයක් සිදු කළ යුතු බවටත් දෙමළ ජනතාවගේ සංස්කෘතියට හානි කළ පිරිස් වහාම අත්අඩංගුවට ගත යුතු බවටත්ය.
විරෝධතාකරුවන් විසින් විරෝධතාවය අවසානයේ පෝස්ටර් බැනර් දමා ගිනි තැබීමටද පියවර ගත්හ.
එමෙන්ම සෙට්ටිකුලම් සමෘද්ධි කාර්යාලය ආසන්නයේද ප්‍රදේශයේ සිවිල් සංවිධාන ඇතුළු වැසියන් විසින් විරෝධතා පාගමනක් සංවිධානය කරමින් කියාසිටියේ හින්දු සංස්කෘතියට අගෞරව වන අයුරින් කටයුතු කල සියලු දෙනා නීතියේ ඉදිරියට පැමිණවිය යුතු බවටත් මහේස්ත්‍රාත් නියෝගය කඩ කරමින් ආදාහන පූජෝත්සවය විහාරභූමියේම සිදුකිරීමට අනුබල දුන් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු පිරිසද නීතියේ ඉදිරියට රැගෙන ආ යුතු බවටත්ය.
මුලතිව් ගුරුකන්ද රජමහාවිහාරාධිපති පූජ්‍ය කොළඹ මේධාලංකාරකිත්ති හිමියන්ගේ ආදාහන පූජොත්සවය 23 වනදා විහාර භූමියෙන් එපිට පිහිටි නයාරු මුහුදු තීරයේ සිදු කරන ලෙසට මුලතිව් මහේස්ත්‍රාත් එස්.ලෙනින් කුමාර් මහතා තීරණය ලබා දී තිබියදී විහාරාධිපති හිමියන්ගේ ආදාහන පූජොත්සවය ශාසනාරක්ෂක බලමණ්ඩලයේ තීරණයකට අනුව විහාරභූමියේම සිදු කිරීමට විහාර දායකසභාව විසින් පියවර ගෙන තිබුණි.