පාසල්වලට සිසුන්ගේ පැමිණීම අද (13දා) දිනයේදී ඉතාමත් අඩු අගයක් ගෙන තිබූ බවත්, එබැවින් පාසල් කටයුතු සම්පූර්ණයෙන්ම අඩපණ වූ බවත් ගුරු විදුහල්පතිවරු සඳහන් කරති.
දෙවැනි පාසල් වාරය අද සම්පූර්ණයෙන්ම ආරම්භ කරන බවට රජය ප්‍රකාශයට පත්කර තිබුණද, කොළඹ ඇතුළු ප්‍රධාන නගරවල බොහෝ පාසල්වලට සිසුන්ගේ පැමිණීම සියයට අඩු අගයක් ගෙන තිබූ බවද එම පිරිස් පෙන්වා දෙති.
ගුරු විදුහල්පතිවරුන්ගේ පැමිණීම 70% ඉක්මවා තිබූ අතර, ඇතැම් පාසල්වලට සිසුන් හතක්, අටක් පැමිණි බවද ඔවුහු සඳහන් කරති.
සමස්තයක් ලෙස පසුගිය සතියේ බ්‍රහස්පතින්දා හා සිකුරාදා යන දෙදින තුළ සැලකිය යුතු මට්ටමේ සිසුන් ප්‍රමාණයක් පාසල්වලට පැමිණියද, අද (13දා) දිනයේ සිසුන්ගේ පැමිණීම ඉතාමත් අඩු අගයක් ගෙන තිබිණි.
පාසල් ආශ්‍රිතව හා රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් සහතිකයක් ලබා නොදීම හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවූ බව ලංකා ගුරු සංගමය සඳහන් කරයි.
රට තුළ ආරක්ෂාවක් තිබෙන බවට ප්‍රකාශ කරන දේශපාලනඥයන්ගේ දරුවන් පවා අද (13දා) දින පාසල් යැවීමට කටයුතු නොකළ බවට වාර්තා වන බවද එම සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේය.
දිවයිනේ ස්ථාන කිහිපයකට අද (13දා) දිනයේදී ප්‍රහාර එල්ල වන බවට කටකතා හා සමාජ මාධ්‍ය ජාල හරහා ප්‍රචාරය වූ බවත්, මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන දෙමවුපියන් විසින් දරුවන් පාසල්වලට එවීමට කටයුතු නොකළ බවත් ලංකා ගුරු සේවා සංගමය සඳහන් කරයි.
ආණ්ඩුව මීට වඩා රටේ ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත් වී කටයුතු කළ යුතු බවත්, ජාතික ආරක්ෂාව තහවුරු වී තිබෙන බවට ජනතාවට හැඟෙන තාක්කල් මෙම තත්ත්වය ඇති විය හැකි බවත් එම සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා සඳහන් කළේය.