අද මෙරට විපක්ෂය සටන් පාඨ නොමැතිව අනාථ වී ඇති බවත් ඒ නිසා ආණ්ඩුව කොරෝනා මර්දනය සඳහා ගනු ලැබූ සාර්ථක පියවරයන් විවේචනය කිරීමටත් ඒ පිළිබඳ ජනතා විශ්වාසය බිඳ වැට්ට වීමටත් ඔවුන් ඉතා පටු සහ කුහක ආකාරයට කටයුතු කරන බවත් ජානිපෙ ජාතික සංවිධායක ජයන්ත සමරවීර මහතා පවසයි.
අද (17) පිටකෝට්ටේ පිහිටි ජානිපෙ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා එසේ පැවසුවේය.
ලොව බලවත්ම රාජ්‍යයන් කොරෝනා වසංගතය පාලනයට අසමත් වෙද්දී මෙරට සෞඛ්‍ය අංශ පමණක් නොව බුද්ධි අංශ ඇතුළත්ව ආරක්ෂක අංශ ද යොදවා ගනිමින් වසංගතය සාර්ථකව පාලනය කිරීමට අද ආණ්ඩුව සමත් වී ඇති බව පෙන්වා දුන් සමරවීර මහතා, එවැනි තත්වයක් හමුවේ විපක්ෂය පෙන්නුම් කළේ ලොව කිසිදු රටක විපක්ෂයක් සිදු නොකරන අන්දමේ පිළිකුල් සහගත භාවිතයක් බව ද සඳහන් කළේය.
ත්‍රිවිද හමුදාව හා බුද්ධි අංශ, වසංගත රෝග පාලනයට යොදවා ගැනීම වැරදි තීන්දුවක් බව පවසමින් රණවිරුවන්ට මානසික බාධාවක් ඇති කරමින් ද සැබෑ මරණ හා ආසාදිතයන් සංඛ්‍යාව සඟවමින් තොරතුරු වසන් කරනවා යැයි කියමින් ජනතාව තුළ කුකුසක් ඇති කරමින් ද ජනාධිපතිවරයාගේ මුදල් බලතල සම්බන්ධයෙන් අසත්‍ය කරුණු සමාජගත කරමින් ද සිදු කළ පහත්පෙළේ ක්‍රියාවන් නිසා එළඹෙන මහමැතිවරණයේදී රනිල් - සජිත් දෙපිළ මිහිදන් වීමත් 3%ක ජනවරමක් හිමිව තිබූ ජවිපෙ අතුරුදහන්වීමත් නිසැක බව හිටපු පරිසර රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.