මෙරට වෙසෙන සමෘද්ධිලාභී පවුල් ලක්ෂ 14ක් ඇතුළුව අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 20කට අවශ්‍ය විදුලිබලය ලබා දීම සඳහා සූර්යබලයෙන් ක්‍රියාත්මක විදුලිබල උත්පාදන කට්ටල නොමිලයේ ලබා දීමට කඩිනමින් පියවර ගන්නා ලෙස විදුලිබල බලශක්ති හා ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (16) විදුලිබල අමාත්‍යාංශයේ නිලධාරින්ට උපදෙස් දුන්නේය.
මේ සම්බන්ධව අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කළ පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබෙන අතර මෙරට වෙසෙන අඩු ආදායම්ලාභී පවුල් සියලු දෙනාටම මෙම සුර්යබල උත්පාදක කට්ටල නොමිලයේ ලබා දීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් වැඩිදුරටත් උපදෙස් ලබා දුන් බව ද අමාත්‍යවරයා පැවසීය.
දිවයිනේ දැනට විදුලිබලය නොමැති පවුල් 12,500ක් සිටිති. එමෙන්ම සමෘද්ධිලාභී පවුල් ලක්ෂ 14ක් හා සමෘද්ධි පොරොත්තු ලේඛනයේ ද පවුල් විශාල සංඛ්‍යාවක් සිටිති. එම සියලු දෙනාම ආවරණය පරිදි මෙම සූර්ය බල උත්පාදක කට්ටල ලබා දීමට නියමිත අතර මෙම වැඩපිළිවෙල අදියර කිහිපයක් යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතය.
එමෙන්ම දැනට ඇතැම් අඩු ආදායම්ලාභී පවුල් විසින් තම නිවාස වෙත විදුලිබලය ලබා ගෙන ඇති නමුත් විදුලි බිල්පත් ගෙවීමේ දී ඔවුන් යම් යම් අපහසුතාවලට මුහුණ පා සිටින බවද අමාත්‍යවරයා මෙහිදී පැහැදිලි කළේය. එම නිසා ඔවුන් ද මෙම වැඩපිළිවෙලට ඇතුළත් කර ගැනීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා සඳහන් කළේය.
එම නිසා මෙම පවුල් සියල්ලටම සහන ලබා දීම අරමුණු කර ගනිමින් සූර්ය බල විදුලි උත්පාදක කට්ටල ලබා දෙන අතර සුර්ය බලශක්තිය මගින් විදුලි උත්පාදන කට්ටල නිෂ්පාදනය කරන දේශීය කර්මාන්තකරුවන් ශක්තිමත් කිරීමත් මෙම වැඩ පිළිවෙලේ අරමුණ බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට අදාලව සකස් කරන ලද වාර්තාවක් තමන් වෙතට සතියක් තුළ ලබා දෙන ලෙස අමාත්‍යවරයා ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති විජිත හේරත් මහතාට උපදෙස් දුන්නේය.
මෙම අවස්ථාවට විදුලිබල අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය ඇතුලු නිලධාරිහු පිරිසක් සහභාගි වූහ.