වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කරන අගලවත්ත දාපිළිගොඩ පදිංචි කොරෝනා ආසාදිත නාවික සෙබලාගේ පවුලේ සාමාජිකයන් හතර දෙනෙකුට සහ ඔහු ඇසුරු කළ තවත් පුද්ගලයකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට අද (29) දින තහවුරු වූ බව අගලවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි
පසුගිය 18 වනදා නිවාඩු ලබා නිවසට පැමිණ සිටි මෙම නාවික සෙබලාට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව පසුගිය 25 දා සිදුකරන ලද පීසීආර් පරීක්ෂණයේ දී තහවුරු විය .
ඒ අනුව එම සෙබළා ගේ නිවස සහ ඔහු ඇසුරු කළ තවත් නිවාස තුනක් නිරෝධායනයට ලක් කරන ලදී
මෙම නාවික සෙබලාගේ මව, පියා, බිරිඳ,සිවු හැවිරිදි දියණිය සහ නිරෝධනයට ලක්කල අසල්වාසී නිවෙසක 26 හැවිරිදි තරුණයෙකු වෛයිරසයට ගොදුරු වී ඇති බව අගලවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි
මෙයට අමතරව මෙම නාවික සෙබළාගේ නිවසේ වාසය කළ ඔහුගේ මස්සිනා යැයි පැවසෙන පුද්ගලයෙකු ද කොරෝනා රෝගී ලක්ෂණ පෙන්නුම් කිරීම නිසා නාගොඩ මහ රෝහල වෙත යැවිමට සෞඛ්‍ය බලධාරීන් විසින් කටයුතු කරන ලදී.
මෙම ආසාදිතයන් පදිංචි ප්‍රදේශය අධිඅවදානම් කලාපයක් ලෙස නම් කිරීමට අද ( 29) දින සෞඛ්‍ය බලධාරීන් කටයුතු කරනු ලද අතර වෛරසය ආසාදිත වූවන් කොළඹ IDH රෝහලට යැවීමට සෞඛ්‍ය බලධාරීන් මේ වන විට කටයුතු කරමින් සිටිති.
ප්‍රේමතිලක පෙරමුණ/ අගලවත්ත ධනුෂ්ක ලංකා නානායක්කාර