අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හෙට (04දා) අරලිය ගහ මන්දිරයේ සාකච්ඡාවට පැමිණෙන ලෙස කරන ලද ආරාධනය ඇතැම් අය ප්‍රතික්ෂේප කරන්නේ දේශපාලන කුහකකම නිසා බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
“කොවිඩ් 19 වසංගත තත්ත්වය නිසා රටේ උද්ගතව ඇති තත්ත්වයන් සම්බන්ධයෙන් හා වෙනත් කාරණා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ආරාධනා කළා. එම රැස්වීම හෙට (04දා) අරලියගහ මන්දිරයේ දී පැවැත්වෙනවා.
එහෙත් ජනතා විමුක්ති පෙරමුණ හා සමගි ජන බලවේගය යන පක්ෂ හා මන්ත්‍රීවරුන් පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගි නොවන බව ප්‍රකාශ කර තිබෙනවා. සමහරු කියන්නේ අරලිය ගහ මන්දිරයට පැමිණීමට නොහැකි බවයි.
අරලිය ගහ මන්දිරය කියන්නේ පුද්ගලික දේපොළක් නොවෙයි. ඒ්ක රජයට අයත් ගොඩනැගිල්ලක්. අරලිය ගහ මන්දිරයේ පැවැත්වෙන පක්ෂ නායක රැස්වීම්වලට ඒ් අයට සහභාගි වීමට හැකි නම්, ඇයි මෙම සාකච්ඡාවට විතරක් විරුද්ධ වන්නේ කියා මම අහන්නට කැමැතියි.
මෙම රැස්වීම වර්ජනය කරන ඇතැම් පක්ෂ නායකයෝ පක්ෂ නායක රැස්වීම්වලට අරලියගහ මන්දිරයට එනවා. එහෙම නම් ඒ් අයට තිබෙන්නේ තමන්ගේ පක්ෂයේ සෙසු පිරිසත් අරගෙන සහභාගි වීමයි. අරලිය ගහමන්දිරයට පක්ෂ නායක රැස්වීම්වලට පැමිණෙන්නට නායකයින්ට හොඳ නම් ඇයි අනිත් අයට හොඳ නැති වෙන්නේ.
මේක තනිකරම දේශපාලන කුහකකමක්. බොරදියේ මාළු බෑමක් ලෙසයි මම දකින්නේ. අනිත් කාරණය ඒ් අය කියනවාග රටේ වර්තමාන තත්ත්වය ගැන කතා කරන්නට අවශ්‍යයිලු. තමන්ට කවර කාරණයක් ගැන වුනත් කියන්නට මෙම රැස්වීමේ දී ඉඩ තිබෙනවා. අගමැතිතුමා මෙම සාකච්ඡාව සංවිධානය කළේ කොවිඩ් 19 වසංගතය නිසා අද රට මුහුණ දී ඇති අභියෝගය හඳුනාගැනීමත්, විශේෂයෙන් ආර්ථිකය යළි නංවා ජනජීවිතය ගොඩ ගැනිම සම්බන්ධවත් සාකච්ඡා කිරීමටයි. මහජනතාව මේ වසංගත තත්ත්වයෙන් බේරාගෙන රට ගොඩගන්නේ කොහොමද කියන කාරණය සම්බන්ධයෙන් අපි හැමෝටම වගකීමක් තිබෙනවා. රට හා ආර්ථිකය ගැන කතා කළ යුත්තේ රට හා ජනතාව ගැන සිතා මිස දේශපාලන කෝණවලින් බලලා නොවෙයි. ඒ් නිසා මේ තීරණාත්මක අවස්ථාවේ කළ යුත්තේ බොරදියේ මාළු බෑම නොවන බවයි මගේ අදහස.
එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුලු මන්ත්‍රීවරුන් මෙන්ම දෙමළ සන්ධානයේ සම්බන්ධන් මහතා ප්රමුඛ කණ්ඩායම් මෙම සාකච්ඡාවට සහභාගි වන බව ප්‍රකාශ කර තිබෙනවා. ඒ් අයට තේරෙනවා මෙම කාරණයේ බැරෑරුම්කම”