Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 11 වන බදාදා
2024 දෙසැම්බර් මස 11 වන බදාදා
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජාතිය අමතමින් කියයි
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද (28දා) සිදු කරන ලද විශේෂ ප්‍රකාශය
ආදරණීය දෙමවුපියනි, හිතවතුනි, මිත්‍රවරුනි, අද විශේෂයෙන්ම ජාතිය අමතා ප්‍රකාශයක් කිරීමට මා තීරණය කළේ, පසුගිය දින කිහිපය තුළ රටේ ඇති වූ දේශපාලන වෙනස්කම් සමග රටේ අනාගතය, හෙට දවස වෙනුවෙන් අප යායුතු ගමන්මග පැහැදිලි කරමින් විශේෂයෙන්ම මෙවන් වෙනසක් සිදු කිරීමට හේතු වූ කරුණු සහ ඊට පසුබිම් වූ බොහෝ කරුණු කාරණ සම්බන්ධයෙන් ඉතාම කෙටි සඳහනක් කිරීමේ බලාපොරොත්තුවෙන්.
මේ අවස්ථාව වර්ෂයක් ගෙවී ගොස් නව වර්ෂයක් අබියස සිටින අවස්ථාවක්. 2015 ජනවාරි මාසයේ 08 වැනිදා මේ රටේ ආදරණීය පොදු ජනතාව හැට දෙලක්ෂ පනස්දහසකට ආසන්න පිරිසකගේ අතිවිශාල ඡන්ද සංඛ්‍යාවකින් මා ඔබේ ප්‍රධාන සේවකයා වගේම, රටේ රාජ්‍ය නායකයා වශයෙන් පත්කර ගත්තේ බලාපොරොත්තු රාශියක් ඇතිවයි. ඒ බලාපොරොත්තු ඉෂ්ට කර ගැනීම සඳහා ඔබ මා වෙත තැබූ විශ්වාසය පිළිබඳ මා ඔබට අදත් මගේ ගෞරවනීය ස්තුතිය සහ ප්‍රණාමය පුද කරනවා වගේම ඒ තැබූ විශ්වාසය ඉදිරියටත්, හෙට දවසේත් ඔබ වෙනුවෙන් මගේ ජීවිත පරිත්‍යාගයෙන් මා ඉටු කරන බව පළමුව ප්‍රකාශ කරන්න ඕන.
රට සහ ජනතාව පෙරදැරිව දේශපාලනයේ නිරත වන අප විශේෂයෙන් විමසා බැලිය යුත්තේ කුමන දේශපාලන පක්ෂයද, වමද, දකුණද යන්න නොව, ජනතාවගේ සහ රටේ සෞභාග්‍ය උදෙසා අප කළ යුතු වඩාත් සුදුසු කාර්යය කුමක්ද යන්න කියන එකයි මා විශ්වාස කරන්නේ. 2014 වසරේ පොදු අපේක්ෂකයා තෝරා ගත් අවස්ථාවත් එහිදී මා මුහුණ දුන් අවදානම් තත්ත්වයත් ඔබට මතක ඇතැයි කියා මා විශ්වාස කරනවා. එදා මා භාරගත්තේ මේ රටේ දේශපාලනයේ කිසියම් වූ පුද්ගලයෙක් භාර නොගත් අභියෝගයක්, බරපතළ දේශපාලන අභියෝගයක් ඒ වගේම අවදානමක්. ඒ අවදානම දේශපාලන වශයෙන් පමණක් නොවෙයි, මටත්, මගේ බිරිඳ සහ දරුවන් ඒ සියලු දෙනාටත් ඇති වූ ප්‍රධාන අවදානමක් සහිතවයි මා විසින් එම කාර්ය ඉටු කරනු ලැබුවේ කියා ඔබ දන්නවා. ඒ වගේම පසුගිය 26 වැනිදා මා විසින් ගනු ලැබූ තීරණය 2014 නොවැම්බර් මාසයේ 21 වැනිදා ගත් තීරණයටත් වඩා ප්‍රබල වූ අභියෝගාත්මක වූ අවදානම් සහිත තීරණයක් බව මා හිතනවා ඔබ විශ්වාස කරනු ඇතැයි කියා. ඒ සියල්ල මම කළේ ඔබෙත්, මගේත් ආදරණීය මාතෘභුමිය වෙනුවෙන් වගේම ආදරණීය පොදු මහජනතාව වෙනුවෙන් කියන එක ඉතා ගෞරවයෙන් සහ කාරුණිකව මෙන්ම නිහතමානීව මා මෙහිදී ඔබට සඳහන් කරන්න ඕන.
මගේ ජීවිතය පරදුවට තබා ලබාගත් 2015 ඒ දේශපාලන ජයග්‍රහණය හෑල්ලුවට ලක්වන ආකාරයේ, ශිෂ්ට දේශපාලනයට නොගැළපෙන දේශපාලන ක්‍රියාවලියකට රනිල් වික්‍රමසිංහ මහතා අවතීර්ණ වුණා. ශ්‍රී ලංකාවේ අනාගතය කියලා කියන්නේ නැත්නම් හෙට දවස ඔහු සහ ඔහු සමග කුලුපඟව කටයුතු කරන සැබෑ ජනතා හදගැස්ම නොහඳුනන සුපිරි පන්තියක විනෝද කෙළියක් බවට පත්කර ගන්නා තැනට ඔහු පත් වුණා කියන එකයි මම විශ්වාස කරන්නේ. විශේෂයෙන්ම යහපාලන ආණ්ඩු සංකල්පය රනිල් වික්‍රමසිංහ මැතිතුමා අමුඅමුවේම විනාශ කළා කියලයි මම හිතන්නෙ. 2015 ජනවාරි 08 ජයග්‍රහණය කරලා 09 වැනිදා සන්ධ්‍යාවේ මා ජනාධිපතිවරයා විදියට දිවුරුම් දුන් අවස්ථාවත්, ඒ සමගම රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 47 දෙනෙක් එතුමාට සිටියදී එතුමා අගමැති ධුරයට පත්කළ අවස්ථාවත් මම හිතනවා ඔබේ මතකයේ තිබෙනවා කියලා. එහෙත් ඒ උතුම් වූ යහපාලන සංකල්පය, ඒ උතුම් යහපාලන අරමුණු හා පරමාර්ථ රනිල් වික්‍රමසිංහ මහතා විනාශ කළ බව මා මෙන්ම ඔබ ගෙවී ගිය අවුරුදු කිහිපය තුළ ලැබූ අත්දැකීම්වලින් දන්නා බව මම විශ්වාස කරනවා. රටේ දූෂණය, වංචාව ඉතාමත් ප්‍රබල වුණා. එක්සත් ජාතික පක්ෂයේ සහ ඊට අදාළ වූ සන්ධාන රාශියක මගේ මතකයේ හැටියට ඒ අවස්ථාවේ පොදු අපේක්ෂකයාට සහයෝගය දුන්න දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති, සිවිල් සංවිධාන 49ක් අපේ ගිවිසුමට අත්සන් කළා. එමගින් අපි ඇතිකරගත් බලාපොරොත්තු රට සහ ජනතාව වෙනුවෙන්, ඔබේත්, මගේත් ජාතියේ අනාගතය සඳහා ඉතාමත් ශුද්ධ වූ පවිත්‍ර වූ නිර්මල වූ ඒ උතුම් පරමාර්ථ සම්පූර්ණයෙන්ම විනාශ කරනු ලැබුවා.
දූෂණය, නාස්තිය ඉහවහා ගියා, මා මීට දින කිහිපයකට පෙර සේනානායක ගුණ සමරු උළෙලේදී කළ ප්‍රකාශයත් මම හිතනවා ඔබේ මතකයේ ඇති කියලා. ඩී.එස්. සේනානායක මැතිතුමාගේ දේශපාලන දර්ශනය, ඩඩ්ලි සේනානායක මැතිතුමාගේ දේශපාලන දර්ශනය, ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ දේශපාලන දර්ශනය, රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ දේශපාලන දර්ශනය එක්සත් ජාතික පක්ෂය මොනතරම් ප්‍රබල, යෝධ දේශපාලන පක්ෂයක් බවට පත්කළාද? ඒ වගේම දේශීයත්වය, අපේ සංස්කෘතින්, අපේ උරුමයන් සමග අපේ කියන සියලු දේ ආරක්ෂා කරමින් ජාතික අනන්‍යතාව, රටේ ඒකීයභාවය ඒ උතුම් අරමුණු සහ පරමාර්ථ එම ශ්‍රේෂ්ඨ නායකයන් මොනතරම් ආරක්ෂා කළාද, ඒවාට කොතෙක් නම් කැපවුණාද, ඒ සියලු දේ ගත් විට මා අද මෙහිදීත් ප්‍රාර්ථනා කරනවා එක්සත් ජාතික පක්ෂයේ වර්තමාන නායකයන්ට ඩී.එස්. දර්ශනය, ඩඩ්ලි දර්ශනය, ජේ.ආර්. දර්ශනය, ප්‍රේමදාස දර්ශනය මුල් කොටගත් ඒ උතුම් දේශපාලන අරමුණු සහිත සමාජයක්, නව ලෝකයට, නව තාක්ෂණයට අද යුගයට ගැළපෙන ආකාරයට බිහි කරන්න ඔවුන්ට ප්‍රඥාව පහළ වේවා කියලා.
ප්‍රධාන වශයෙන්ම සාමූහිකත්වයෙන් තොර වූ තනි තීන්දු තීරණ ගත් ඉතාමත් දරදඬු, මුරණ්ඩු ආකාරයට රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩුව තුළ හැසිරුණා. ඒ තුළ බරපතළ දේශපාලන අර්බුදයක් ඇති වුණා. සාමූහිකත්වය නොමැති නිසා, සාකච්ඡාව, සංවාදය නොමැති නිසා ඉතා සුළු පිරිසක් අපේ අතේ තියෙන ඇඟිලි ගාණටත් වඩා අඩු පිරිසක් ඔහුගේ සමීපතම සගයන් වී ඔවුන් සමග පමණක් සාකච්ඡා කර තීන්දු තීරණ ගැනීම නිසා අපි රටක් විදියට අවාසනාවන්ත තත්ත්වකට පත් වුණා. මෙහිදී මා කියන්නට ඕන රනිල් වික්‍රමසිංහ මහතා සහ මා අතරේ ගෙවීගිය අවුරුදු තුනහමාරකට වැඩි කාලය තුළ ප්‍රතිපත්තිමය වශයෙන් දේශපාලන වෙන් කිරීමක් මම දැක්කා. ප්‍රතිපත්ති ගැටුමක් මම දැක්කා. රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන දර්ශනයත්, මගේ දේශපාලන දර්ශනයත් අතරේ ප්‍රතිපත්තිමය ගැටුමක් ඇති වුණා. ඒ විතරක් නෙවේ, රනිල් වික්‍රමසිංහ මහතා සහ මා අතරේ බරපතළ සංස්කෘතික වෙනස්කම් මම දැක්කා. ඒ දේශපාලන ප්රතිපත්තිවල වෙනස්කම් වගේම සංස්කෘතික වශයෙන් අපේ ක්‍රියාකාරීත්වය, චරිතවල සහ ගතිලක්ෂණවල තිබූ සංස්කෘතික දේශපාලනික වෙනස්කම් ඒ සියල්ල මේ දේශපාලන සහ ආර්ථික අර්බුදය බරපතළ වන්නට හේතු වුණා කියලා මම විශ්වාස කරනවා.
අනෙකුත් ජ්‍යෙෂ්ඨ නායකයන් සමග එකට වාඩි වී සිටින බොහෝ අවස්ථාවල මම එතුමාට කිව්වා අපි එකට වැඩ කරමු, අපි සාමූහිකත්වයෙන් කටයුතු කරමු. අපි ගන්නා තීන්දු තීරණ සාකච්ඡා කරලා යහපාලන අරමුණු ඉෂ්ට කර ගන්න අපි ක්‍රියා කරමු කියලා. නමුත් හැටදෙලක්ෂ පනස්දහසකට වැඩි ජනතාවගේ ඒ උතුම් අභිලාෂයන් එතුමා නොසලකා හැරියා. ඒ ගැන මම ඉතාමත්ම කනගාටු වෙනවා. මා විසින් රටේ නායකත්වය භාරගනු ලැබුවේ දූෂණ, වංචාවලින් තොර යහපාලන සංකල්පය මුල්කර ගත් ඉතාම නිර්මාණශීලී රාජ්‍ය පාලනයක් සඳහා. අතීත අත්දැකීම් සමග වර්තමාන අභියෝග තේරුම් ගනිමින් අනාගතය, හෙට දවස වඩාත් ප්රබුද්ධ ලෙස සාක්ෂාත් කර ගැනීම සඳහා ආධ්‍යාත්මික ගුණ වගාවෙන් පරිපූර්ණ වූ උතුම් සංකල්පයක් පෙරදැරිව මම සෑම විටම ඒ සඳහා විශාල උත්සාහයක් ගත්තා, විශාල කැපකිරීමක් කළා, බොහෝ අවස්ථාවල මම අඩි කිහිපයක් පස්සට ගත්තා.
ඇතැම් වෙලාවට ඔබ දකින්න ඇති පසුගිය අවුරුදු 03කට වැඩි කාලය තුළ යම්යම් ආවේගශීලී ලෙස මට කතා කරන්න සිදු වුණා. ඒ අවස්ථාවලදී ඇතැම් විට ඔබ මට දොස් කිව්වා. ඇතැම් වෙලාවට කිව්වා මම පරිණත නැහැ කියලා. ආවේගශීලී වෙනවා කියලා කිව්වා. නමුත් ආණ්ඩුවේ අභ්‍යන්තර සාකච්ඡාවලදී, අමාත්‍ය මණ්ඩලය තුළ, පක්ෂ නායකයන්ගේ රැස්වීම්වලදී මොනතරම් ඉවසීමෙන්, මොනතරම් නිහතමානීව මම කටයුතු කළාද කියලා දන්නේ මගේ හෘදසාක්ෂියයි. ඒ සියල්ල මම කැප කළේ රට සහ ජනතාව වෙනුවෙන්. නමුත් ඔබේ මතකයේ තිබෙනවා ඒ උතුම් පරමාර්ථ මුල් කරගෙන පිහිට වූ මේ ජනතාවගේ උතුම් අභිලාෂයන් ඉටු කරගන්නා වූ යහපාලන ආණ්ඩු සංකල්පය, ආණ්ඩුව පිහිටුවලා මාස 03ක් යන්නටත් කලින් බිඳ දැමුවා. මහබැංකු මුදල් මංකොල්ලයෙන් අපේ රට ප්‍රබල ආර්ථික අගාධයකට ඇද වැටුණා. ලංකා ඉතිහාසයේ රාජ්‍ය වත්කම්, මුදල් පිළිබඳ මෙවැනි මහා මංකොල්ලයක් ඔබ දන්නවා මීට පෙර අප අසා තිබුණේ නැහැ. ඒ පිරිසුදු යහපාලන සංකල්ප දූෂණයෙන්, වංචාවෙන් තොර රාජ්‍ය පාලනයක් ගෙන යෑමට ජනතාව දුන්නා වූ ප්‍රතිඥාව ඒ සියල්ල අමුඅමුවේ ඝාතනය කළා.
මගේ මතකයේ තිබෙනවා ආදරණීය දෙමවුපියනි, දරුවනි මහ බැංකු මංකොල්ලය සම්බන්ධයෙන් රටේ ඇති වූ ජනතා උද්ඝෝෂණ සහ හඬ, විපක්ෂයේ හඬ, දේශපාලන පක්ෂවල හඬ, සමාජ වගකීම් දරන්නන්ගේ, සිවිල් සංවිධානවල හඬ ආපු වෙලාවේ ආණ්ඩුව තුළ මොනතරම් අභ්‍යන්තර අර්බුදකාරී තත්ත්වයක් ඇති වුණාද කියලා. ඒ අවස්ථාවලදී රනිල් වික්‍රමසිංහ මහතා හරිම නොසන්සුන් විදියට, හරිම කලබලකාරී විදියට හැසිරුණා. මහ බැංකුවේ කාර්යමණ්ඩලය හමුවෙන්න යන්න මා ඒ අවස්ථාවේ තීරණය කළ විට රනිල් වික්‍රමසිංහ මහත්තයා හදිසියේම මගේ නිල නිවසට දුවගෙන ඇවිත් බොහෝ කලබලකාරී ස්වභාවයෙන් මට කිව්වා%මහ බැංකුව අයිති වෙන්නේ මටයි, ඒ නිසා ඇයි ඔබ මහ බැංකුවට යන්නේ?^කියලා මගෙන් ඇහුවා. මම ඒ වෙලාවේ එතුමාට කිව්වා %ඔබට ගැසට් නිවේදනයකින් භාරකාරීත්වය දී තිබෙන බව ඇත්ත, නමුත් මම ජනාධිපති, මට එතැනට යන්න අයිතියක් තියෙනවා නේද?^කියලා මම එතුමාට කිව්වා. මම කිව්වා මම තව ස්වල්ප වේලාවකින් පිටත් වෙනවා කියලා. ඒ සමගම එතුමා මගේ නිවසින් නික්ම ගියා. මම සුළු වේලාවකින් මහ බැංකු ගොඩනැගිල්ලට ඇතුළු වන විට මේ සිද්ධිය නිසා නිවාඩු දමා ඉවත් වී සිටි හිටපු මහ බැංකු අධිපතිවරයා අර්ජුන් මහේන්ද්‍රන් මහතා බුලත් හුරුල්ලක් දී මා පිළිගන්න ඉදිරියට පැමිණියා. මම පුදුමයට පත් වුණා ඔහු කොහොමද මෙතැනට ආවේ කියලා.
ඒ නොසන්සුන්කාරී වාතාවරණය, කලබලකාරීව හැසිරුණු ආකාරය, ඔවුන්ගේ නොසන්සුන් මානසිකත්වය මම ඒ වෙලාවේ දැක්කා. අවසානයේ රටේ බරපතළ ආර්ථික අර්බුදයක් ඇති වුණා. දේශපාලන අර්බුදයක් ඇති වුණා. ඊට විසඳුම් විදියට මම ජනතාවගෙන් ආපු ඉල්ලීම් අනුව ජනාධිපති කොමිෂන් සභාවක් පත් කළා. ඒ ජනාධිපති කොමිෂන් සභාව පත් කරලා කටයුතු කරගෙන යන විට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයන් මට ඇඟිල්ල දික්කළා. ඇයි මේ කොමිසම පත්කළේ කියලා.
මේක එක්සත් ජාතික පක්ෂයට කරපු අගෞරවයක් විදියට ඔවුන් සැලකුවා. නමුත් මම ඒ අයට කිව්වා සිදු වූ සිද්ධියෙන් නිදහස් වෙන්න, ජනතාවගේ හඬට කන් දෙන්න මම මේ කොමිෂන් සභාව පත් කළේ කියලා. ඒ නිසා ප්‍රධාන වශයෙන්ම ඒ සිදුවීම අදත් අපේ ආර්ථිකයේ හිස ඔසවන්නට බැරි බරපතළ ආර්ථික අර්බුදයකට ලක් වූ කාරණයක් බව ඔබ දන්නවා.
2018 පෙබරවාරි මාසයේ 10 වැනිදා පැවැත්වූ පළාත් පාලන මැතිවරණයේදී ලැබුණු ප්‍රතිඵලය විශේෂයෙන්ම අප නිවැරදි කිරීමට, රජය නිවැරදි කිරීමට ජනතාව දුන් තීන්දුවක් විදියටයි මම දකින්නේ. මම ඒ අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ නායකයන් කැඳවලා කිව්වා,අපි අවුරුදු 03ක් කරපු කටයුතු සම්බන්ධයෙන් ජනතාව තීන්දුවක් දීලා තිබෙනවා, අපට පාඩමක් උගන්නලා තිබෙනවා, අපි දැන් නිවැරදි වෙන්න ඕන.මම කිව්වා ඔබතුමා මගේ බලතලත් අරගෙන වැඩ කෙරුවා. කළගුණ සලකන්න, මා බලයට පත්කරන්න ඔබතුමා නායකත්වය ගත් නිසා මම නිහඬ වුණා, ඒ කළගුණ සැලකීමේ උතුම් මානුෂීය ගුණාංගය නිසා එක් පැත්තකින් රටට ඉතාම අහිතකර ප්‍රතිඵල ඇති වුණා රනිල් වික්‍රමසිංහ මහතාට රිසි පරිදි වැඩ කරන්න, ඇතැම් විට මගේ බලතලත් අරගෙන වැඩ කරන්න එතුමාට මම බලය දුන්න නිසා. නමුත් ඒ සියල්ල තුළ සිදුවූයේ කුමක්ද, ඇති වූ සිදුවීම් රාශියක් පිළිබඳ අවුරුදු තුනහමාරක මහ ඛේදනීය තත්ත්වය මා විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ කාලය දීර්ඝ වශයෙන් ගත වන නිසා. මම ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා වරින්වර ඒ තත්ත්වයන් රටට සහ ජනතාවට පැහැදිලි කරන්න. මේ සියල්ලත් එක්ක දැන් දවස් දෙකකට කලින් මම ගත් තීරණය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවරයා වශයෙන් පත් කිරීමටත්, රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමටත් ළඟම ඇති වූ ප්‍රබලම හේතුව මම ඔබට ඉතාම ගෞරවයෙන් පැහැදිලි කරනවා.
මගේ දේශපාලන ජීවිතය දැන් අවුරුදු 51කට වැඩියි. පසුගිය දිනවල මාධ්‍ය වෙත පැමිණි නාමල් කුමාර කියන පුද්ගලයා මා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමක් පිළිබඳ කුමන්ත්‍රණයක් හෙළි කළා. ඒ පරීක්ෂණ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මම භාර දුන්නා. පොලිස්පතිවරයා එම පරීක්ෂණ කටයුතු භාරදී තිබුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නොවේ. පොලීසියේ වෙනත් පරීක්ෂණ අංශයකට. නමුත් මට ඒ අවස්ථාවේම පෙනී ගියා ඉදිරියේදී විශ්වාස කළ නොහැකි තත්ත්වයක් ඇති විය හැකියි කියා. මේ තොරතුරු කුමන්ත්‍රණය පිළිබඳ ප්‍රකාශයක් කළ පුද්ගලයා මාධ්‍යයට පැමිණ ඒ කුමන්ත්‍රණය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කිරීමට පෙර තොරතුරු දුන් පුද්ගලයාගේ ප්‍රකාශය නිකුත් වී පැය 48ක් යෑමට පෙර පොලිස්පතිවරයා ප්‍රකාශයක් කළා, මේ තොරතුරු දුන් පුද්ගලයා ඉදිරිපත් කළ හඬපටය සැක සහිතයි කියා. රටේ ජනාධිපතිවරයා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් හෙළි කළ පුද්ගලයෙකු ඉදිරිපත් කළ කරුණු තාක්ෂණික හඬපටයක් කිසිදු පරීක්ෂණයක් නොපවත්වා එය සැකයි කියා කියන්න තරම් පොලිස්පතිවරයා ඉතාමත් නිර්ලැජ්ජිත ස්වභාවයෙන් හැසිරීම පොලිස්පතිවරයෙකුට සුදුසු ද යන්න මෙහිදී මා ඉතා ගෞරවයෙන් ඔබෙන් අසන ප්‍රශ්නයක්.
මේ කුමන්ත්‍රණය සම්බන්ධයෙන් පරීක්ෂණ කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් ඊට සහයෝගය දෙන රජයේ අනෙකුත් විශේෂ විමර්ශන බුද්ධි අංශත් මේ වන විට ලබාදී ඇති තොරතුරු අනුව මෙය ඉතාම බරපතළ තත්ත්වයක්. රටේ ජනතාවට මෙතෙක් නොලැබුණු තොරතුරු රාශියක් මේ පරීක්ෂණයේ අභ්‍යන්තරයේ තිබෙනවා. මාව ඝාතනය කිරීම සඳහා ඊට සම්බන්ධ වූ ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයෙක්, ඇමතිවරයෙක් පිළිබඳ තොරතුරු ප්‍රකාශ කර තිබෙනවා. එමෙන්ම මේ පරීක්ෂණවලට දැඩි බලපෑම් ඇති වී තිබෙනවා. නීතිපති දෙපාර්තමේන්තුවේ වගකිව යුතු නිලධාරීන් මේ පරීක්ෂණයේ වැදගත් අවස්ථාවන්වලදී ඔවුන් මගහරින තත්ත්වයක් ඇති වෙලා තිබුණා.
මේ තත්ත්වය තුළ මම ගෞරවනීය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, මේ දේශපාලන අර්බුද, ආර්ථික අර්බුදයත් සමග මා ඝාතනය කිරීමේ ප්‍රබල කුමන්ත්රණයක කරුණු හෙළිවීමත් සමග මට තිබුණු එකම විකල්පය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ආරාධනා කර එතුමා අගමැතිවරයා විදියට පත් කර අලුත් ආණ්ඩුවක් පිහිටුවීම පමණයි. මේ අලුත් ආණ්ඩුවට එක් වන ලෙස පාර්ලිමේන්තුවේ කටයුතු කරන 225ක ගෞරවනීය සාමාජිකයන් සියලු දෙනාට විවෘත වූ ගෞරවනීය ආරාධනයක් කරනවා. ඉතාම පවිත්‍ර වූ චේතනාවෙන් පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩඑන්න දේශපාලන අර්බුදය සෑහෙන දුරකට දැන් යටපත්ව තිබෙනවා, සමනය වී තිබෙනවා. ඒ නිසා හෙට දවස වෙනුවෙන් රට වෙනුවෙන් මේ ගත් තීන්දුව මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත්කර අලුත් ආණ්ඩුවක් සෑදීමේ තීරණය රට වෙනුවෙන්, ආදරණීය ජනතාව වෙනුවෙන් ඔබෙත්, මගෙත් උතුම් මාතෘභූමිය වෙනුවෙන්. ඒ උතුම් පරමාර්ථය ඉෂ්ට කරගෙන ප්රජාතන්ත්රවාදී පාලනය ශක්තිමත් කරලා, ජනතාවගේ නිදහස ශක්තිමත් කරලා, මානව හිමිකම්, මූලික අයිතිවාසකම් ශක්තිමත් කරලා, මාධ්‍ය නිදහස ශක්තිමත් කරලා, ජනතාවගේ සියලු අයිතිවාසිකම් වරප්‍රසාද ශක්තිමත් කරලා සමෘද්ධිමත් ආර්ථිකයක් ඇති විනයගරුක, වඩාත් ශික්ෂණයෙන් යුත් ඉතාමත් විනීත යහපත් සමාජයක් ගොඩනගන්න මේ නව රජයට සහයෝගය දෙන්න කියා මා ඔබෙන් ඉල්ලා සිටිනවා.
පසුගිය කටුක අත්දැකීම් ගත් විට මෙහිදී මා නැවත සඳහන් කරන්නට ඕන, රනිල් වික්‍රමසිංහ මහතා වගකීම භාරගත යුතුයි අර්ජුන මහේන්ද්‍රන් මහතා අපේ රටට ගෙන්වා ගැනීමට සහ අධිකරණයට ඉදිරිපත් කිරීමට. ඒ අන් කිසිවක් නිසා නොව මේ රටේ කවුරුත් දන්නා පරිදි අර්ජුන මහේන්ද්‍රන් මහතා රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉතාම සමීප වූ කිට්ටු මිත්‍රයෙක් නිසයි. අපේ රටේ දේශීය කර්මාන්ත දුර්වල තත්ත්වයකට පත්වුණා පසුගිය අවුරුදු කිහිපයේ. ඒවා ගොඩනගන්න, ශක්තිමත් කරන්න රජය දුන් ආශීර්වාදය ප්‍රමාණවත් නැහැ.
විදේශීය ආයෝජන පමණක් කෙරෙහි විශ්වාසය තබමින් දේශීය කර්මාන්තකරුවන් දේශීය ව්‍යාපාරිකයන් දුර්වල කිරීමේ ආර්ථික ප්‍රතිපත්තියක් ප්‍රධාන වශයෙන්ම ක්‍රියාත්මක වුණේ. මේ ආර්ථික ප්‍රතිපත්තියේ තිබුණු දුර්වලකම් එක් පැත්තකින් සිදු වුණා වගේම මේ ආර්ථිකය විනාශ කළ, පෙර සඳහන් කළ මහබැංකු මංකොල්ලයේ වරදකරුවන්ට දඬුවම් ඉක්මන් කිරීම සඳහා අප සකස් කළ අල්ලස් හා දූෂණ කොමිෂන් සභා පනතේ සංශෝධන පසුගිය සතියේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කිරීමෙන් සිදුවුණේ කුමක්ද කියා ඔබ සොයා බැලුවාද කියා මා ඔබෙන් විමසා සිටිනවා. නීති විශාරදයන්, නීතිපති දෙපාර්තමේන්තුව, අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව මේ පරීක්ෂණ සිදු කළ නිලධාරීන් ඒ සියල්ල මේ වසරේ මුල් කාලයේදී මා වෙත දන්වා සිටියේ දැනට රටේ පවතින නීති අනුව මහ බැංකු මංකොල්ලයේ වැරදිකරුවන්ට දඬුවම් දීමට කටයුතු කිරීමේදී අඩුම තරමින් වසර 15කට එහා කාලයක් ගතවෙනවා. ඒ මුදල් ආපසු අයකර ගන්න, වැරදිකරුවන්ට දඬුවම් දෙන්න වසර 15කින් මෙහා නොහැකි බව අද පවතින නීතිරීති මත නඩු විභාග කිරීමේදී පවතින තත්ත්වය නීති විශාරදයන් පැහැදිලි කළා. ඒ අනුව අල්ලස් හා දූෂණ කොමිෂන් සභාව, නීතිපති දෙපාර්තමේන්තුව නිර්දේශ කළා මේ පරීක්ෂණ කටයුතු අවුරුද්දකින් අවසන් කරලා අතිවිශාල මහා ජනතාවගේ මුදල ආපසු රජයට ලබා ගැනීමට වසරක් ඇතුළත පරීක්ෂණ කටයුතු අවසන් කරලා ප්‍රතිඵල ලබා ගැනීමට නම්, අල්ලස් දූෂණ කොමිෂන් සභා පනතේ සංශෝධනය කළ යුතු අංශ පිළිබඳ. ඒ සංශෝධන සකස් කරලා මීට මාස හයකට පෙර අපි ජනාධිපති කාර්යාලය මගින් පාර්ලිමේන්තුවට යැව්වා.
මාස 05ක් ගත වුණා ඒවා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ නැහැ. සභානායක කාර්යාලයේ ඒවා හමස් පෙට්ටියට ගියා. මා මේ පිළිබඳ දැඩි විමසීමක් කළා. අල්ලස් කොමිෂන් සභාවේ නිලධාරීන්ගෙන් විමසුවා. නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් විමසුවා. ඒ අනුව පසුගිය සතියේ පාර්ලිමේන්තුවට අල්ලස් හා දූෂණ කොමිෂන් සභා පනතේ සංශෝධනය ඉදිරිපත් කළා. කනගාටුයි කීමට, දින නියමයක් නොමැතිව එය පාර්ලිමේන්තුවේ සම්මත කිරීම කල් දැම්මා. ඇයි එසේ කල් දැම්මේ? කාගේ වුවමනාවටද? කාගේ බලපෑමටද? මේ ජනතාවගේ අතිවිශාල මහා මුදල් සම්භාරය රජයට ජනතාවට අහිමි වෙනවා.
වැරදිකරුවන්ට දඬුවම් කිරීමට වසර 15ක්, 20ක් යනවා. මේ සංශෝධනය දින නියමයක් නැතිව කල් දැමීමේ අරමුණ එයයි. ඔබ මාධ්‍ය තුළ දැක්කා පසුගිය දිනවල ඊ.ඒ.පී. ආයතනයේ ගනුදෙනුවක් පිළිබඳ. ඒ ආයතනය විදේශීය ව්‍යාපාරිකයෙකුට භාරදුන්නා. ටෙන්ඩර් කැඳවීම් නැති ඉතා දූෂිත ගනුදෙනුවක් ඊ.ඒ.පී. වෙළෙඳ ව්‍යාපාරයේ ගනුදෙනුව. මේ පිළිබඳ ඉදිරියේදී පුළුල් පරීක්ෂණ කිරීමට බලාපොරාත්තු වෙනවා. බොහෝ වටිනාකම් තිබෙන විශේෂ ටෙන්ඩර් විදේශ සමාගම්වලට දුන්නා. ඉදිකිරීම් භාරදුන්නා ටෙන්ඩර් කැඳවීමකින් තොරව. ඒ විදේශ සමාගම්වලට ටෙන්ඩර් කැඳවීමකින් තොරව අමාත්යමණ්ඩලවලට හදිසි පත්‍රිකා විදියට ඉදිරිපත් කරලා ඒවාට විරුද්ධ වීම නොතකා මේ මහා ඉදිකිරීම් ක්ෂේත්රයේ ඉදිකිරීම් දුන්නා. මහනුවර අධිවේගී මාර්ගය ඊට හොඳ නිදසුනක්. පසුගිය සතියේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ ඉඩම් පිළිබඳ විශේෂ විධිවිධාන පනත, ඒ වගේම ඉඩම් බැංකුවක් පිහිටුවීමේ පනත මම දැඩි ලෙස විරුද්ධ වෙලා ඒවා කල්දැම්මා. කැබිනට් මණ්ඩලයේ අතිබහුතරයක් ඇමතිවරු මේ පනතට විරුද්ධයි.
මේ පසුගිය සතියේ ඉඩම් පිළිබඳ විශේෂ විධිවිධාන සහිත පනත ඇමති මණ්ඩලයේ සම්මත කරලා පාර්ලිමේන්තුවේ සම්මත වුණොත් ඔබේත්, මගේත් මේ මාතෘභූමියේ සියලු ඉඩම් කිසිදු කරදරයකින් තොරව විදේශික ව්‍යාපාරිකයන්ට සින්නක්කරව ගන්න පුළුවන්. ඩී.එස්. සේනානායක මැතිතුමාලා, ගාමිණී දිසානායක මැතිතුමාලා, බණ්ඩාරනායක මැතිතුමාලා ආරම්භ කළ මහා ගොවිජනපද ව්‍යාපාර ඒ සියල්ල විනාශ වෙනවා. මේ රටේ ඉඩම් අයිතිය පිළිබඳ මේ ඉඩම් විශේෂ විධිවිධාන පනත සම්පූර්ණයෙන්ම අපි ඉවත් කළ යුතු වෙනවා, රනිල් වික්‍රමසිංහ මහතාගේ ආර්ථික හා දේශපාලන දර්ශනය මත ඉදිරිපත් කරපු.
ඒ වගේම ඔබට මෙහිදී සඳහන් කරන්න ඕන රනිල් වික්‍රමසිංහ මහතා විසින් පිහිටුවාගෙන කටයුතු කළ ආර්ථික කළමනාකරණ කමිටුව ඉතාම බරපතළ ලෙස දූෂිතයි. එය අවලංගු කිරීම විශාල අභියෝගයක් වුණා. නමුත් මම විශාල වෙහෙසක් ගෙන ඒක අහෝසි කළා. එම කමිටුව ගත් තීන්දු තීරණ ඉතාමත් දූෂිතයි. එයට විකල්ප වශයෙන් රටේ ආර්ථිකය කළමනාකරණය කිරීමට මම ජාතික ආර්ථික සභාව පිහිටෙව්වා. ජාතික ආර්ථික සභාව දුර්වල කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා කළ හැකි සෑම දෙයක්ම කළා. ආර්ථික සභාවට පත්කළ ආර්ථික විශේෂඥවරයාට මාසික දීමනාව ලැබුණේ ලෝකයම පිළිගත් අපි ගනුදෙනු කරන විශේෂ ජාත්‍යන්තර මූල්‍ය ආයතනයකින්. ඒ ජාත්‍යන්තර මූල්යආයතනයෙන් මාසිකව ඔහුට දුන්න දීමනාව රනිල් වික්‍රමසිංහ මහතා ඒ මූල්‍ය ආයතනයට උපදෙස් දීලා නවත්වලා දැම්මා. ඒ විදියට ජාතික ආර්ථික සභාව දුර්වල කිරීමට ක්‍රියා කළා වගේම ඒ කටයුතු අවහිර කිරීමට සියලු කටයුතු කළා. රනිල් වික්‍රමසිංහ මහතාගේ දරදඬු තීන්දු තීරණ නිසා තමයි මේ අර්බුදයන් සිදුවුණේ කියන එක මම පැහැදිලිවම කියනවා.
මේ නිසා මේ සියලු කටයුතුවලදී මට තිබුණු එකම විකල්පය මහින්ද රාජපක්ෂ මහතා නව අගමැති විදියට පත්කරගෙන අලුත් ආණ්ඩුවක් පිහිටුවීමයි. මේ අලුත් ආණ්ඩුව පිහිටුවීම මහින්ද රාජපක්ෂ මහතා නව අග්‍රාමාත්‍යවරයා වශයෙන් පත්කිරීම ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණියි කියලා රනිල් වික්‍රමසිංහ මහතා ප්රමුඛ එක්සත් ජාතික පක්ෂය චෝදනා කරනවා. නමුත් මම පැහැදිලිවම කියන්න ඕන නීති විශාරදයන්ගේ උපදෙස් මත, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව, කිසිදු පටහැණි වීමක් නොමැතිව මේ පත්කිරීම් කරලා තිබෙන්නේ, ඉවත් කිරීම් කරලා තිබෙන්නේ. අලුත් ආණ්ඩුව පත්කරලා තිබෙන්නේ. ඒ නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණිවයි කියන ඒ චෝදනාව මම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා කියන එක මා ගෞරවයෙන් සඳහන් කරනවා.
ඒ වගේම අද පවතින දේශපාලන වාතාවරණය තුළ රටේ පොදු මහජනතාව, රාජ්‍ය නිලධාරීන්, පොලිස්, යුද, නාවික, ගුවන්, හමුදා ප්‍රධානීන් ඇතුළු ආරක්ෂක අංශ ඒ සියල්ල මේ අවස්ථාවේදී මා වෙත ලබාදෙන සහාය රටේ නීතිය හා සාමය ශක්තිමත් කරමින් රටේ ප්රජාතන්ත්රවාදී ව්‍යූහය ශක්තිමත් කරමින්, ජනතාවගේ දෛනික ජීවිතයට අවශ්‍ය පහසුකම් සලසමින් ඒ සෑම කෙනෙකුම කටයුතු කරන ආකාරය පිළිබඳ මම ඒ සියලු දෙනාටම මාගේ ස්තුතිය පුද කරනවා. ඒ වගේම මම මගේ කතාව අවසන් කරමින් මා පෙර කී පරිදි එක්සත් ජාතික පාක්ෂිකයන්, මා ජනාධිපති කිරීමට පුළුල් කැපවීමක් කළා. ඔබේත්, මගේත් මාතෘභූමිය වෙනුවෙන් ඒ සුන්දර වූ පරමාර්ථ ඉටුකරගන්න අපි සියලු දෙනාම කැපවෙමු. ඔබට, ඔබේ එක්සත් ජාතික පක්ෂයට හොඳ දැක්මක් ඇති, දේශීයත්වය අගය කරන, රටේ පොදු මහජනතාගේ දුක හඳුනන, සේනානායක දර්ශන, ප්‍රතිපත්ති, ජයවර්ධන, ප්‍රේමදාස දර්ශන ප්‍රතිපත්ති අගය කරන නායකයෙන් ඔබ ඉදිරියේදී පත්කර ගතහොත් මම විශ්වාස කරනවා අපි සෑම කෙනෙකුගේම බලාපොරොත්තු වන ඒ පවිත්‍ර අරමුණු ඉටුකරගන්න පුළුවන් වෙයි කියලා. ඒ නිසා මගේ රට වෙනුවෙන්, මගේ ආදරණීය ජනතාව වෙනුවෙන් මේ ගත් දේශපාලන තීන්දුව සමග, ආර්ථික අර්බුදය අවසන් කරමින්, දේශපාලන අර්බුදය අවසන් කරමින් සමෘද්ධිමත් ආර්ථිකයක් සමග යහපත් සමාජයක් ගොඩනගන්න, ආධ්‍යාත්මික වශයෙන් ප්රබුද්ධ සමාජයක් ගොඩනගන්න, ඔබ අප සෑම කෙනෙක්ම මේ සාමූහිකත්වය ඉටුකරමින් රටේ සමස්ත පුරවැසියන්ට, සියලු රාජ්‍ය සේවකයන්ට, සියලු දේශපාලනඥයන්ට, ගෞරවනීය මහා සංඝරත්නය, අනෙකුත් සියලුම ආගමික පූජකතුමන්ට මා ඉතාමත් ගෞරවයෙන් ඇරයුම් කරමින් මේ කටයුතුවලට ඔබේ දායකත්වය ආශීර්වාදය ලබාදෙන මෙන් මා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.*
popular news
Champa Sunday, 28 October 2018 06:32 PM
පත් කිරීම කලාට, ඉතාම අසාධාරණ විදිහට මහින්දව මේකට පටලොවල තියෙනව. දැන් තමන්ගේ අගමැති පට්ටම බේර ගන්න මහින්දට පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වන්න වෙනවා. කවුද කිව්වා JO එක TNA එකෙන් සහයෝගය ගන්න යනව කියල. TNA ඉල්ලන්නේ මොනවාද කියල ලංකාවම දන්නවා. ලංකාවම ඒකට විරුද්ධයි. මම කීයටවත් පිළිගන්නේ නැහැ මේ පත්වීම කලේ මහින්ද වෙනුවෙන්වත් රට වෙනුවෙන්වත් කියල. මේක කලේ රනිල්ගෙන් පලිගන්න. මේ අවුරුදු 4 ට වහල් ආණ්ඩුව කරපු දේවල් වලට රනිලුයි යූඑන්පී එකයි විතරක් පලි නැහැ. මෛත්‍රී සහ ශ්‍රීලනිප කණ්ඩායමත් ඒකට හවුල්. පහුගිය අවුරුදු 4 පුරාම රනිල්ගේ රටට එරෙහි පනත් වලට ශ්‍රීලනිප ආණ්ඩු පක්ෂ කණ්ඩායම පක්ෂව චන්දෙ දුන්න හෝ එන්නේ නැතුව රනිල්ට ඒවා ඒවා pass කරගන්න ඉඩ හරිය. මේ ලඟදි ගෙනාපු ත්රස්තවාදීන්ට සල්ලි ගෙවන එකටත් මෛත්‍රීගේ ශ්‍රීලනිප කණ්ඩායමේ 24 විරුද්ධව චන්දෙ දුන්නේ නැහැ. JO එක විතරයි විරුද්ධ වුනේ. මේ ආණ්ඩුව ගෙදර යවනවා නම් රනිල්ව විතරක් අයින් කරලා මදි. මෛත්‍රීත් ජනාධිපති කමෙන් ඉල්ලා අස් වෙලා මහින්දට වැඩ බලන ජනාධිපති විදිහට රට පාලනය කරන්න ඉඩ දෙන්න ඕනේ. ඒක තමයි රට වෙනුවෙන් කරනවා නම් කරන්න ඕන එකම දේ.
Reply : 0 0
New Champa Monday, 29 October 2018 01:11 PM
Champa , "මෛත්‍රීත් ජනාධිපති කමෙන් ඉල්ලා අස් වෙලා මහින්දට වැඩ බලන ජනාධිපති විදිහට රට පාලනය කරන්න ඉඩ දෙන්න ඕනේ" ගොන් කතා කියන්න එපා
Reply : 0 0
amali Monday, 29 October 2018 04:19 PM
අනේ කන්න උන උනාම කබරයා තලගය කරන එපා. කිසිම විස්වාසයක තබන බැරි මිනිහෙක්. බොරුවට කිබුල් කදුළු හෙලන්න එපා. මේ රටට උබලට වැඩිය අපි අදරෙය්. උබල කරන්නේ රට විනාස කරන එක. කිබුල් කදුළු හෙළ හෙළ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd