වත්මන් ආණ්ඩුව සිදුකළ විශාලම දූෂණ හා වංචා 10 හෙවත් 'ටොප් ටෙන්' පිළිබඳ අද (09දා) රටට හෙළිකරන බව එකාබද්ධ විපක්ෂය පවසයි. මෙහිදී වත්මන් ආණ්ඩුවේ විශාලම වංචා සිදුකරන ලද ටොප් ටෙන් ඇමතිවරුන් සිදුකළ සියලු වංචා හා දූෂණ, රාජ්‍ය දේපොළ අවභාවිතය හා මංකොල්ලකෑම් පිළිබඳ තොරතුරු මහජනතාවට ඉදිරිපත් කරන බව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පැවසූහ.
සොයාගත් වංචා හා දූෂණයන්ට අදාළ ලිපිගොනු ඉදිරි දින කිහපය ඇතුළත අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාවට ලබාදීමටත්, ඉන් අනතුරුව විමර්ශන කටයුතු නිසි පරිදි සිදුවන්නේදැයි විමසිලිමත්ව සිටීමටත් ඒකාබද්ධ විපක්ෂය සූදානමෙන් සිටියි.
එසේම මෙම වංචා හා දූෂණ අධිකරණය හමුවට ගෙනයෑමටද ඒකාබද්ධ විපක්ෂය සූදානම් වන අතර, ඒ සඳහා ඔවුන් විසින් විශේෂ මෙහෙයුම් කමිටුවක්ද පත්කොට තිබේ. හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙහි ප්‍රධානියා වශයෙන් කටයුතු කරයි.
කොළඹ, ගම්පහ, මහනුවර, කළුතර ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක් නියෝජනය කරන ඇමතිවරුන් 10 දෙනෙකු පිළිබඳ මෙහිදී ඒකාබද්ධ විපක්ෂය තොරතුරු හෙළි කිරීමට නියමිතය.
ඒකාබද්ධ විපක්ෂයේ මෙහෙයුම් කමිටුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගෙන් මේ පිළිබඳ කළ විමසීමකදී ඔවුන් පැවසුවේ පක්ෂ මාරු කළ ඇමතිවරුන් කිහිපදෙනෙකුද මේ අතර සිටින බවයි.
මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව ප්රමුඛව පසුගිය මාස 18 ක කාලය තුළදී සිදුවූ ගනුදෙනු පිළිබඳ මෙහිදී කරුණු හෙළි කිරීමට ඔවුහු සූදානම් වෙති.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රමේෂ් පතිරණ, විදුර වික්‍රමනායක, මහින්දානන්ද අලුත්ගමගේ, ජයන්ත සමරවීර, කාංචන විජේසේකර, කනක හේරත්, ශෙහාන් සේමසිංහ, සිසිර ජයකොඩි, නාමල් රාජපක්ෂ යන මන්ත්‍රීවරු දූෂණ හා වංචා පිළිබඳ තොරතුරු රැස්කළ කමිටුව නියෝජනය කළහ.