ගාල්ලේදී පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි දින රැලිය සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පූර්ණ සහයෝගය ලබාදීමට තීරණය කර තිබෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග දේශපාලන කටයුතු කිරීම සඳහා පක්ෂ 10කට වැඩි ප්‍රමාණයක් මේ වනවිට කැමැත්ත පළකර තිබෙන බවත්, ඔවුන් සන්ධානය තුළ සාමාජිකයන් වීමටත් කැමැත්ත පළකර තිබෙන බවද ඔහු පවසා සිටියේය.
සාමාජිකයන් නොවී දේශපාලන කටයුතුවල නිරත වීමටද මෙම පක්ෂ තුළ කැමැත්තක් තිබෙන බවත්, මේ නිසා සන්ධානයට එකතු වීමට කැමැත්ත පළකර තිබෙන පක්ෂවලට සන්ධානයේ සාමාජිකත්වය ලබාදීම පිළිබඳව විධායක සභාව රැස් වී තීන්දුවක් ගන්නා බවද හෙතෙම සඳහන් කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවත්වන මැයි දින රැලියට එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන පිරිස් සහභාගි කරවීමට කටයුතු කරන බවද අමරවීර මහතා පවසා සිටියේය.