හිටපු නැගෙනහිර පළාත් සභා මහ ඇමති සිවනේසදුරෙයි චන්ද්‍රකාන්තන් මහතාගේ නායකත්වයෙන් යුතු දෙමළ ජනතා කොටි සංවිධාන පක්ෂය නැවතත් ශ්‍රීලංකා නිදහස් පක්ෂය සමග එක්වී කටයුතු කිරීමට නියමිත බව එම පක්ෂයේ නියෝජ්‍ය නායක කේ.යෝගවේල් මහතා පැවසීය.
එම පක්ෂයේ නායක සිවනේසදුරෙයි චන්ද්‍රකාන්තන් මහතාගේ 41 වන උපන් දිනය නිමිත්තෙන් මඩකලපුව ශික්ෂණ රෝහලේ පැවති ලේ දන්දීමේ පිංකමකදී අදහස් දක්වමින් ඒ මහතා එසේ පැවසීය.
"අප පක්ෂයේ නායක හා ලේකම් බන්ධනාගාරයේ සිටින අවස්ථාවේද අපි පසු බට වූයේ නැහැ. අපේ පක්ෂය මේ වන විට පෙරට වඩා දියුණු මට්ටමකට පත්වී තිබෙනවා. මේ ආකාරයෙන් අපගේ පක්ෂයේ කටයුතු ඉදිරියටත් ගෙනයාමට නියමිතයි. ඉදිරියේදී අපේ පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එකතු වී කටයුතු කිරීමට නියමිතව තිබෙනවා" යැයිද පවසා සිටියේය.
මඩකලපුව ජවුෆර් ඛාන්