ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වීමට තීරණය කර තිබෙන්නේ නම්, 2015 ජන වරමට අනුව ආණ්ඩුවක් පිහිටුවා බහුතරය පවත්වාගෙන යෑමේ වගකීම එක්සත් ජාතික පෙරමුණට ඇති බවත්, ඒ අනුව තමා ඇතුළු කණ්ඩායම එම ජනවරම සමග සිටින බවත් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කරයි.
එම අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී ඊයේ (03දා) මේ බව ප්‍රකාශ කළ ඒ මහතා ලද ජනවරම අනුව කටයුතු කිරීමට අග්‍රාමාත්‍යවරයාට හා ජනාධිපතිවරයාට අවස්ථාව ලැබී ඇති බවත්, ඒ අනුව ඔවුන් කෙසේ ක්‍රියා කරන්නේදැයි බලා සිටීමෙන් අනතුරුව සිය කාරණය ප්‍රකාශ කරන බවත් සඳහන් කළේය.
හෙතෙම අවධාරණය කර සිටියේ ආර්ථික, පාරිසරික, සමාජීය හා දේශපාලනික වශයෙන් රැඩිකල් ප්රතිසංස්කරණයක් රටට අවශ්‍යව ඇති බවයි. ඒ අනුව වහාම එය ලබාදෙන ලෙසට අග්‍රාමාත්‍යවරයාගෙන් හා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද ඔහු වැඩිදුරටත් පැවැසීය.