එක්සත් ජාතික පක්ෂයට වාසිවන ආකාරයේ වචන භාවිත කිරීම නවත්වා ගැනීමට නිදහස් පක්ෂය කටයුතු කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පැවසීය.
හෙතෙම මේ බව පැවසුවේ, මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20දා) බදුල්ල තැපැල් සංකීර්ණ ශ්‍රවණාගාරයේදී පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බදුල්ල දිස්ත්‍රික් ක්‍රියාකාරීන්ගේ සමුළුවේදීය.
" මේ දවස්වල දුමින්ද මහත්තයත් වැඩිය කතා කරන්නෙ නැහැ වගේ ඔබතුමාත් ඉස්සර වගේ යාළු නැහැ. දැන් දැක්කත් අහක බලාගෙන වගේ යන්නේ. මට දැන් පිහිටට ඉන්නේ නිමල් සිරිපාල මහත්තයයි, චාමර මහත්තයා විතරයි. ලක්ෂ්මන් මහත්තයත් ඒ තරම් මේ දවස්වල වැඩිය බලන්නෙ එහෙම නැහැ. ඒ නිසා මම දීර්ඝව කතා කළොත් වෙන්නේ තවත් මේක වැඩිවෙලා නිමල් සිරිපාල ඇමතිතුමාට මම වෙනුවෙන් සල්ලි නැතුව පෙරකදෝරු වැඩේ කරන්න වෙනවා පක්ෂයේ නායකතුමා ළඟ.
මම කතා කරන්න නැගිටලා එනකොට මම දැක්කා මහින්ද අමරවීර ඇමතිතුමාගේ මුහුණ ඇඹුල් වෙනවා. එතුමා කැමැති නැහැ, එතුමා ඉන්න වේදිකාවල මම කතා පවත්වනවාට. එතුමා බයයි මගේ කටින් මොනා හරි එහාට මෙහාට කැපෙන එකක් විසිවෙයි කියලා.
මේ ඇත්ත මම කියන කොට සමහර අයට රිදෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේම කියන ආණ්ඩුවක් 2020 හදන්න බලාපොරොත්තු වන අපි මේ හැම පැත්තේම තියෙන කුණු සුද්ද කරගෙන තමයි ආණ්ඩු හදන්න යන්නේ. මහින්ද මහත්තයා පැරදුණේ අපි නිසාද මහින්ද අමරවීර මහත්තයො? බදුල්ල දිස්ත්‍රික්කය මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ජනාධිපතිවරණ අපි පැරදුණේ ඡන්ද 215කින්.
අපට මහින්ද මහත්තයා එක්ක ප්‍රශ්නයක් නැහැ. හැබැයි 19 වැනි සංශෝධනයක් පාර්ලිමේන්තුවට ගෙනාවා. ඒ අනුව ජනාධිපතිවරණය දෙපාරක් ඉල්ලපු අයට නැවත ජනාධිපතිවරණයට ඉල්ලන්න බැහැ.
ඒ සංශෝධනයට චමල් රාජපක්ෂ මහත්තයා අත ඉස්සුවා. නාමල් රාජපක්ෂ මහත්තයා අත ඉස්සුවා. බැසිල් රාජපක්ෂ මහත්තයාත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙලා හිටියට එතුමා ඒ සංශෝධනයට විරුද්ධ වුණේ නැහැ.
චන්ද්‍රිකා නෝනා ජනප්‍රිය නැහැ. ඒත් ඡන්දය ඉල්ලන්න බැහැ. එහෙනම් 2021 මෛත්‍රීපාල සිරිසේන මහත්තයාව ආයේ පාරක් අපේ පැත්තෙන් ඡන්දය ඉල්ලන්න කැමැති කරවගෙන, එහෙම බැහැ කිව්වොත් ආයේ චාමර මහ ඇමතිතුමා කිව්වා වගේ වෙන එකාලා ළඟ හිටගන්න ඕන නැහැ. අපි නිමල් සිරිපාල මහත්තයා ළඟ හිටගන්නවා පක්ෂ නායකයා කරලා" යැයි පැවසීය.