අමාත්‍ය එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධන මහතාගේ අභාවය සමග පුරප්පාඩු වූ එක්සත් ජාතික පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා එම පෙරමුණ සාකච්ඡා කර පුද්ගලයෙකු යෝජනා කරන බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අමාත්‍ය කබීර් හෂීම් මහතා අදට පැවසීය.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විදෙස්ගත වී ඇති බැවින් යළි ලංකාවට පැමිණි විගස මේ පිළිබඳ තීරණය කරන බවද අමාත්‍යවරයා කීය.එමෙන්ම ඒ.ආර්.ඒ. හෆීස් මන්ත්‍රීවරයාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා පුද්ගලයෙකු යෝජනා කිරීම අමාත්‍ය රාවුෆ් හකීම් අමාත්‍යවරයාගේ නායකත්වයෙන් යුතු මුස්ලිම් කොංග්‍රසය මගින් සිදුකරනු ඇති බවද කබීර් හෂීම් අමාත්‍යවරයා පැවසීය.
කෙසේවෙතත් පසුගිය මහ මැතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණ විසින් නම් කරන ලද ජාතික ලැයිස්තුවට පිටතින් කිසිවෙකු පත් නොකිරීමට තීරණය කර ඇතැයිද වැඩිදුරටත් කරුණු වාර්තා වේ.