මීට මාස කිහිපයකට පෙර ලෝකය ඉදිරියේ දැවැන්ත අභිරහසක් ඉතිරි කරමින් අතුරුදන් වූ MH370 දරණ මැලේසියානු ගුවන් යානය සොයා දකුණු ඉන්දීය මුහුදු කලාපයේ සෝදිසි මෙහෙයුම්වල නිරත ඔස්ට්‍රේලියාව ප්‍රථම වරට මුහුදු පතුලේ ඡායාරූප මාධ්‍යයට නිකුත් කර තිබේ.
මීටර් 1,400ක් පමණ ගැඹුරු මුහුදේ පවතින සක්‍රීය ගිනිකඳු පවා මෙම සිතියම්ගත කිරීමේදී දැකගත හැකි අතර, මෙම මෙහෙයුම හරහා පෘථිවි ගෝලයේ කොහෙත්ම අවධානයට ලක් නොවූ සාගර පතුලක් පිළිබඳ බොහෝ තොරතුරු අනාවරණය වෙමින් පවතී.
සාගර පතුල පිළිබඳව මෙම තොරතුරු අනාවරණය වීමට පෙර අඟහරු ග්‍රහයාගේ පවා පැහැදිලි ඡායාරූප මිනිසා සතු විය. නමුත්, MH370 සෝදිසි මෙහෙයුමේ අතුරු ප්‍රතිඵලයක් ලෙස ගුවන් යානයේ අභිරහස හෙළි නොවුණත්, සාගර පතුලේ අභිරහස් හෙළිවෙමින් පවතී.
පසුගිය මාර්තු මාසයේ 08 වැනිදා පුද්ගලයන් 239 දෙනෙකු සමග අතුරුදන් වූ මෙම යානය සෙවීමේ මෙහෙයුමට මේ දක්වා රටවල් 26ක් දායක වී තිබුණත් කිසිවෙකුට කිසිදු හෝඩුවාවක් හෝ සොයා ගැනීමට නොහැකි වි තිබේ.
මැලේසියාවේ අගනගරය වූ ක්වාලලම්පූර් නුවර සිට චීනයේ බෙයිජිං දක්වා පියාසර කිරීම ඇරඹී පැයක පමණ කාලයකින් රේඩාර් තිරයෙන් අතුරුදන් වූ යානය ඉන්දියානු සාගර කලාපය වෙත ගමන් කර ඇති බව පසුව චන්ද්‍රිකා දත්ත හරහා සොයා ගැනුණද, යානයේ සුන්බුන් හෝ යානය කඩා වැටුණු තැනක් පිළිබඳ අදටත් අත්තේ නොවිසඳුණු පැනයකි.