දකුණුදිග ඉන්දීය සාගරයේ පවතින අයහපත් කාලගුණය හේතුවෙන් අතුරුදන් වූ මැලේසියානු ගුවන් යානය සොයා සිදුකරන මෙහෙයුම් නැවත වරක් අද දිනයේදීද නවතා දැමීමට සිදුව තිබෙන බව වාර්තා වෙයි.
ඔස්ට්‍රේලියානු බලධාරීන් පෙන්වා දෙන පරිදි මෙහෙයුම්වල නිරත ගුවන් යානා නැවත ගුවන් තොටුපොළ වෙත ළඟා වූ බවත්, මෙහෙයුම්වල නිරත නෞකා අදාළ කලාපයෙන් ඉවත් වි ඇති බවත්ය.
ඊයේ දිනයේදී මැලේසියානු බලධාරීන් ගුවන්යානය සම්බන්ධ අලුත්ම චන්ද්‍රිකා ඡායාරූප කිහිපයක් ඉදිරිපත් කළ අතර, ඒවා අතුරුදන් වූ MH370 මැලේසියානු ගුවන් යානයේ කොටස් බවට සැක කළේය.
MH370 මැලේසියානු ගුවන් යානය පසුගිය මාර්තු 8 වැනිදා මැලේසියාවේ ක්වාලලාම්පූර් නුවර සිට චීනයේ බෙයිජිං දක්වා ගමන් කරමින් සිටියදී අතුරුදන් වූයේ පුද්ගලයන් 239 දෙනෙකුද සමගිනි.
අතුරුදන් මැලේසියානු ගුවන් යානයේ බවට සැක කෙරෙන කොටස් 122ක චන්ද්‍රිකා ඡායාරූප ලැබී තිබෙන බව මැලේසියාවේ වැඩබලන ප්‍රවාහන අමාත්‍යවරයා ඊයේ දිනයේ පවසා සිටි අතර, මාර්තු 23 වැනිදා ගනු ලැබූ මෙම චන්ද්‍රිකා ඡායාරූපවලට අනුව මීටර් 23 පමණ ප්‍රමාණයේ කොටස් පවතින බව කියවුණි.
මේ අතර, ඔස්ට්‍රේලියානු අගමැති ටෝනි ඇබොට් ඊයේ උදෑසන අවධාරණය කර සිටියේ පුද්ගලයන් 239 දෙනෙකු සමග අතුරුදන් වූ මැලේසියානු ගුවන් සේවයට අයත් MH 370 යානය සෙවීම සඳහා අවශ්‍ය සියලුම ක්‍රියාමාර්ග බලධාරීන් විසින් ගනිමින් සිටින බවය.