අතුරුදන් වූ MH370 යානයේ යැයි විශ්වාස කළ හැකි තවත් විශාල සුන්බුන් කොටසක් රීයූනියන් දූපත ආසන්න සාගරයේ පාවෙමින් තිබියදී නිරීක්ෂණය කර තිබේ.
එයාර් ෆ්රාන්ස් ගුවන් සේවයේ ගුවන් නියමුවෙකු විසින් මෙම සුන්බුන් කොටස පිළිබඳ දැනුම් දී ඇති අතර, එය සුදු පැහැයෙන් යුතු විශාල කොටසක් බවත්, රීයූනියන් දූපතට කිලෝමීටර් 70ක් පමණ ඔබ්බෙහි සාගරයේ එය පාවෙමින් තිබූ බවත් ඔහු පවසා ඇත.
මීටර් 3,000ක පමණ ඉහළ අහසේ සිට ගුවන් නියමුවෙකුට නිරීක්ෂණය වන්නේ නම් එය සැලකිය යුතු විශාලත්වයකින් යුතු කොටසක් විය හැකි බව කියැවෙයි.
අදාළ සාගර කලාපයේ වූ වෙළෙඳ නෞකාවක් ඒ දෙසට හරවා යැවීමට බලධාරීන් කටයුතු කළත් ඔවුන්ට එවැන්නක් හමුවී නොමැති බවද කියැවෙයි.
පසුගිය ජූලි මාසයේදී රීයූනියන් වෙරළට ගොඩගසා තිබූ ගුවන් යානා කොටස බෝයිං 777 දරණ MH370 බවට ප්රංශ මෙන්ම මැලේසියානු බලධාරීන් තහවුරු කිරීමෙන් පසු යානයේ තවත් කොටසක් මෙම කලාපයට පැමිණෙනු ඇති බවට විශ්වාස කෙරිණි.
පසුගිය වසරේ මාර්තු මාසයේ 08 වැනිදා පුද්ගලයන් 239 දෙනෙකු සමග මැලේසියාවේ ක්වාලලම්පූර් නුවර සිට චීනයේ බීජිං බලා ගමන් කරමින් තිබියදී මෙම යානය ඉන්දියානු සාගර කලාපයේදී අතුරුදන් විය.