සිරියාවේ ක්‍රියාත්මක ISIS ඉස්ලාමීය අන්තවාදීන්ට එරෙහිව ඇමෙරිකාව ප්රමුඛ සන්ධානය විසින් එල්ල කළ ප්‍රථම ගුවන් ප්‍රහාරය වෙනුවෙන් අරාබි රාජ්‍යයන්ගේ සහාය ලැබීම පිළිබඳ සිය සතුට පළ කළ ඇමෙරිකානු ජනාධිපති බරැක් ඔබාමා පවසා සිටියේ ඉස්ලාමීය අන්තවාදයට එරෙහි සටන ඇමෙරිකාවේ හුදකලා සටනක් නොවන බවයි.
ඇමෙරිකාව ප්රමුඛ අරාබි රටවල් එකතුව එල්ල කරන ලද දැවැන්ත ගුවන් හා මිසයිල ප්රහාරයන්ගෙන් පැය කිහිපයකට පසුව ඔබාමා මෙසේ අදහස් දක්වා සිටියේය.
මෙම ප්‍රහාරය හේතුවෙන් සිරියාව තුළ ISIS සටන්කාමීන් 70ක් පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, අල්කයිඩා සංවිධානයට සම්බන්ධ තවත් සටන්කාමීන් රැසක් ප්‍රහාරයට ගොදුරුව ඇති බවත් බුද්ධි තොරතුරු මගින් තහවුරු වී තිබේ.
මෙහිදී, ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සිරියානු රජයට අනතුරු ඇඟවීමක් කර ඇත්තේ මෙම ඇමෙරිකානු ගුවන් ප්‍රහාර වැලැක්වීමට කටයුතු නොකරන ලෙසයි.
කෙසේ වෙතත්, මෙම ප්‍රහාර වෙනුවෙන් සිරියාවෙන් කිසිදු අවසරයක් හෝ ප්‍රහාර එල්ල කිරීමට කාල වේලාවක් නිර්ණය කරගැනීමක් සිදුව නොමැති බවද කියැවෙයි.
ජනාධිපති ඔබාමා පෙන්වා දෙන පරිදි සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ජෝර්දානය, බහරේනය සහ කටාර් රාජ්‍යය මෙම ගුවන් ප්‍රහාර සඳහා සහාය දක්වා තිබේ.
මෙම රාජ්‍යයන් සමග කරට කර හිඳිමින් කටයුතු කිරීමට ලැබීම ගැන ආඩම්බර වන බව ඔබාමා වැඩිදුරටත් පවසා තිබේ.