ශ්‍රී ලංකාවේ ගෙවුම් තුලන තත්ත්වය හා රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන
සඳහා සහයෝගයක් වශයෙන් ලබාදෙන ඇ.ඩො.බිලියන 1.5ක ණය මුදල ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අනුමත කර තිබේ.
වසර තුනක කාල පරාසයක් පුරා ක්‍රියාත්මක වන විශේෂ ගැනුම් හිමිකම් විස්තීරණ ණය පහසුකමක් ලෙස මෙය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවට අදාළ වර්තමාන පංගුවෙන් සියයට 185 කට සමාන වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඒ අනුව, විස්තීරණ ණය පහසුකම යටතේ ඇ.ඩො.මිලියන 168.1ක පළමු වැනි කොටස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතිය සමගම ශ්‍රී ලංකාවට මුදාහරිනු ඇති අතර, ඉතිරි මුදල් ප්‍රමාණය වසර තුනක කාලයක් පුරා කොටස් හයකින් මුදා හැරෙනු ඇති බවත්, එහි අවසන් කොටස 2019 අප්‍රේල් මාසයේදී ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවත් ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් පවසයි.
මෙය දැනට වෙළෙඳ පොළේ පවත්නා පොලී අනුපාතවලට වඩා කැපී පෙනෙන ලෙස අඩු මට්ටමක පොලී අනුපාතයක් යටතේ ලබා දී ඇති බවද පෙන්වා දෙයි.