මහනුවර ඇති වූ සිදුවීම දුරදිග යෑම වළක්වා ගැනීමට ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය තාවකාලිකව තහනම් කිරීමට ගත් තීරණය විශිෂ්ට තීරණයක් බවට ඇමෙරිකාවේ පර්යේෂණ ආයතන දෙකක් සඳහන් කළ බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය. ෆාතිමා මුස්ලිම් කාන්තා විද්‍යාලයේ සියවස් සැමරුම් උත්සවයට ඊයේ (29දා) එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පවසා සිටියේය.
කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී මෙය පැවැත් වුණි. එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ජනාධිපතිවරයා,
“මහනුවර ප්‍රදේශයේ සිදු වූ සිදුවීම්වලදී මම තීරණ කිහිපයක් ගත්තා. ඒ තීරණ කිහිපය තුළ ගත් වැදගත් තීරණයක් තමයි ෆේස් බුක්, වෙබ් සීමා කිරීම. මේ ගැන සමහර අය මට දොස් කිව්වා. නමුත් මේ රටේ බොහෝ දෙනෙක් මට ඒක හොඳයි කියලා කිව්වා. සමහර අය උත්සවවලට ගියාම මට කිව්වා ජනාධිපතිතුමනි අපේ දරුවෝ හදාගන්න නම් පුළුවන් නම් ෆේස් බුක්, වෙබ් සයිට් හැමදාම වහලා තියන්න කියලා. මීට අමතරව ඇමෙරිකාවේ පර්යේෂණ ආයතන දෙකකින් ශ්‍රී ලංකා රජය ගත් ඒ තීරණය ඉතාම විශිෂ්ට එකක් බව පවසා සිටියා.
මාධ්‍ය නිදහස නැති කිරීමට හෝ ජනතාවගේ මූලික අයිතිවාසිකම් නැති කිරීමේ අරමුණින් ගත් තීරණයක් නොව අවස්ථානුකූලව ගත යුතු වැදගත් තීරණයක් වශයෙනුයි මා එම තීරණයට එළඹියේ. ඊට රටේ සිදුවීමට ගිය විශාල විනාශයක් වළක්වා ගත් පියවරක් බවද පැවසිය යුතුයි.
මියන්මාරයේ අදත් සිදු වෙන ඒ කනගාටුදායක ඛේදනීය තත්ත්වය වළක්වා ගන්න මුල් අවස්ථාවේ මියන්මාර් රජය ශ්‍රී ලංකා රජය වගේ කටයුතු කළා නම් අද මේ කනගාටුදායක තත්ත්වය ඇති වනු නොමැති බව ජාත්‍යන්තර සංවිධාන ප්‍රකාශ කළා.” යැයි ද පවසා සිටියේය.