තමා නීත්‍යනුකූලව අවසර ලබාගෙන කටාන ආසනයේ පාසල්වල ක්‍රියාත්මක කරමින් තිබූ පෙරපාසල් ළමයින්ගේ චිත්‍ර තරගයක් සහ දේශන මාලාවක් වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කරන්නැයි පාර්ලිමේන්තු මන්ත්රීනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය මීගමුව කලාප අධ්‍යාපන අධ්යක්ෂ කාර්යාලයට නියෝග කර ඇතැයි සඳහන් කරමින් ප්රජාතන්ත්රවාදී පක්ෂයේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රජිත හපුආරච්චි මහතා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සැරසෙයි.
කටාන ආසනය පුරා ඇති පෙර පාසල් 120 ක ළමයින් හා මවුපියන් සඳහා මෙම තරගය සහ දේශනා මාලාව සංවිධාන කළේ ළමා දිනය නිමිත්තෙන් බවත්, එය ඔක්තෝබර් මාසය පුරාම කටාන ආසනයේ පිහිටි පාසල් 7ක ක්‍රියාත්මක කිරීමට මීගමුව කලාප අධ්‍යාපන අධ්යක්ෂවරයාගේ අනුමැතිය ලබාගත් බවත්, රජිත හපුආරච්චි මහතා පැවසීය.
ඉකුත් 03 වැනිදා ආරම්භ කළ මෙම වැඩසටහන පාසල් 03 ක මේ දක්වා ක්‍රියාත්මක කළ බවත්, තවත් පාසල් 04ක ක්‍රියාත්මක කිරීමට තිබෙන බවත්, මන්ත්‍රීවරයා පවසා සිටියේය.
තමාගේ පළමු ප්‍රතිපාදන මුදල යොදාගෙන තරගයෙන් ජයගන්නා පෙරපාසල් දරුවන් සඳහා රුපියල් 15,000 ක තැන්පතුවක් සහිත බැංකු ගිණුමක් ආරම්භ කර, එය ලබාදීමටත් මවුපියන්ට දේශන මාලාවක් සංවිධානය කිරීමත් මෙහිදී සිදුකරන බවත්, ඒ අවස්ථාවේදී තමාගේ පක්ෂයේ නම හෝ කිසිම දේශපාලන කරුණක් ගැන සඳහන් නොකළ බවත් හෙතෙම ප්‍රකාශ කළේය.