වංචා සහ දූෂණ මැඩලමින් අධ්‍යාපන ක්ෂේත්රයේ ගුණාත්මක බව වැඩිකර වීම සඳහා කටයුතු කිරීමට වත්මන් රජය කටයුතු කළද ඇතැම් පිරිස් සිය පටු දේශපාලන අරමුණු වෙනුවෙන් එම ක්‍රියාමාර්ග අසුබවාදී ලෙස විවේචනය කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
හොරුන් අල්ලන්න යන මිනිස්සුන්ව, හොරු අල්ලගන්නා බවත්, එය වර්තමාන සමාජය තුළ සිදුවන බවත් අද (26දා) අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවැති ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් 71 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්රදානය කිරීමේ උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා පවසා සිටියේය.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, අධ්‍යාපන අමාත්‍යාංශය විසින් හඳුන්වා දුන් පාසල් ළමයන් සඳහා නිල ඇඳුම් වවුචර් නිකුත් කිරීමේ නව ක්‍රමවේදය මෙන්ම තවත් ව්‍යාපෘති රැසක් පිළිබඳ ඇතැම් පිරිස් විවිධ දේශපාලන දෘෂ්ටි කෝණවලට මුවා වී විවේචනය කිරීම නිසා එම ව්‍යාපෘතිවල සැබෑ අරමුණු සහ පරමාර්ථ ජනතාව වෙත අවබෝධවීමේ මග ඇහිරී ගිය බවයි.
වෙනත් පුද්ගලයින් මෙන් කොමිස් සහ ලාභාංශ අපේක්ෂා නොකොට අදාළ ව්‍යාපෘතිවල විනිවිදභාවය සුරැකෙන අයුරින් කටයුතු කර තිබියදීද ඇතැම් පිරිස් එම ව්‍යාපෘති පිළිබඳ දේශපාලන මුහුණුවරින් පහර ගැසීම කනගාටුවට කරුණක් බවද අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
එමෙන්ම පාසල් ළමයින් සහ ගුරුවරුන් වෙත ටැබ් පරිගණක ලබාදීමේ ක්රමවේදයද සිය පටු න්‍යාය පත්‍ර ඔස්සේ විවේචනය කළ ඇතැම් පිරිස් නිසා සිසුන්ට සහ ගුරුවරුන්ට හිමිවීමට තිබූ එම අධ්‍යාපන අවස්ථාවටද බාධා මතුවී ඇති බව අධ්‍යාපන අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුනි.