තමා එක ඩොලරයක් හෝ හොරකම් කර ඇති බවට සාක්ෂි සොයාගතහොත් තම ගෙල සිඳගන්නා බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ජපානයේ සංචාරයක නිරත හිටපු ජනපතිවරයා ජපන් ටයිම්ස් පුවත් සේවය හා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මේ බව පවසා තිබේ.
"ඔවුන් කියනවා මම ඩොලර් බිලියන 18ක් හොරකම් කළාලු. නමුත් මා එක් ඩොලරයක් හෝ හොරකම් කර ඇති බවට සාක්ෂි සොයාගතහොත් මම ගෙල සිඳගන්නවා" යැයි හිටපු ජනපතිවරයා සඳහන් කර තිබිණ.
එල්.ටී.ටී.ඊ. සංවිධායනත් සමග කළේ යුද්ධයක් හෙයින් එහි ජයග්‍රහණය අනිවාර්ය වූ බවත්, යුද්ධයේ ප්‍රතිඵලය (ජයග්‍රහණය) ජනතාව විසින් පිළිගත් බවත් ඔහු සඳහන් කළේය.
එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු නායක වේලුපිල්ලේ ප්රභාකරන් තමා පිළිබඳව ඉහළ තක්සේරුවකින් සිටි බවත්, යුද්ධය නතර කිරීම සඳහා ජාත්‍යන්තරයෙන් එවකට පැවති රජයට බලපෑම් කරනු ඇති බව ඔහු විශ්වාස කළ බවද හිටපු ජනපතිවරයා පෙන්වා දෙයි.
2015 වසරේ පැවති ජනාධිපතිවරණයෙන් තමා පරාජයට පත්වීමට ප්‍රධානම හේතුව වූයේ මුස්ලිම් ජනතාව මෙන්ම දෙමළ ජනතාව තමාට එරෙහිව පෙළඹවීම බවත්, තමා ජනතාව පිළිබඳව බොහෝ විශ්වාස කළ බවත් ඒ මහතා පවසයි.
වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආණ්ඩුව ආරම්භ කිරීමට නියමිත සත්‍ය හා සමගි සන්ධාන වීමේ කොමිසම පිළිබඳව මාධ්‍යවේදියා හිටපු ජනපතිවරයාගෙන් විමසූ විට ඔහු පවසා ඇත්තේ එවැනි ක්‍රියාවලියක් ආරම්භ කිරීම තම අදහස වූ බවයි.
තමා හා තම පවුල හැර වර්තමාන ශ්‍රී ලංකාවේ වෙනත් කිසිදු දේශපාලන සිරකරුවෙකු නොමැති බවත්, හිටපු ජනපතිවරයෙකුට රජයෙන් ලබාදෙන නිල නිවසක් හෝ තමාට වත්මන් ආණ්ඩුව විසින් ලබා දී නැති බවත් මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.
දේශපාලනයේ ඉදරි ගමන් මග පිළිබඳව ජපාන මාධ්‍යවේදියා හිටපු ජනපතිවරයාගෙන් විමසා සිටි විට එයට පිළිතුරු දෙමින් පවසා ඇත්තේ 'දේශපාලඥයන් කවදාවත් විශ්‍රාම ගන්නේ නෑ' යනුවෙනි.