පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාවෙත ඉදිරිපත් කළ කරුණු 03කින් යුත් යෝජනාවලියට එකඟතාව පළකරන්නේ නම් ඔහු දිනවීමට කටයුතු කරන බව ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
"ජනාධිපතිතුමාට මේ යෝජනා ඉදිරිපත් කළාම අනාගතයේදී කරනවා කිව්වා. ඒ නිසා දැන් ඒ දොර වැහිලා ඉවර විත්තිය කිවයුතුයි” යනුවෙන් ඒ මහතා කියා සිටියේය.
කොළඹ නව නගර ශාලාවේ අද (27දා) සවස පැවැත්වූ විශේෂ ජනහමුව කඩාකප්පල් කිරීමට ආණ්ඩුව දිගින් දිගටම බාධා කළ බවත්, මීට පෙර නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨය සහ කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරය ලබාගැනීමට උත්සාහ කිරීමේදී අදෘශ්‍යමාන හස්තයක් එය වළක්වා තිබුණු බවත් ඔහු කියා සිටියේය.
ජාතික හෙළ උරුමය විසින් මේ වනවිට විධායක ජනාධිපතිධුරයේ අත්තනෝමතික බලතල ඉවත් කිරීම, යහපාලනය සඳහා ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කිරීම, ජනතාවට වගකියන මැතිවරණ ක්‍රමයක් ඇතිකිරීම යන යෝජනා මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ඉදිරිපත් කර තිබේ.