හෙද විදුහල්වල පවතින ආචාර්ය හිඟයට විසඳුම් ලබානොදීම නිසා මේ වනවිට රට තුළ පිහිටි හෙද විදුහල් 17 ක පරිපාලන කටයුතුවලට සහ ඉගැන්වීම් කටයුතුවලට දැඩි බාධාවක් සිදු වී ඇතැයි සමස්ත ලංකා හෙද සංගමය සඳහන් කරයි.
හෙද විදුහල් 17 ක ඉගැන්වීම් කටයුතු කිරීම සඳහා හෙද ආචාර්යවරුන් 415 දෙනෙකු හෝ සිටිය යුතු වුවත්, මේ වනවිට හෙද විදුහල්වල සේවය කරන්නේ ආචාර්යවරුන් 195 දෙනෙකු පමණක් බවත්, එම පිරිසෙන් 17 දෙනෙකු හෙද විදුහල් භාර නිලධාරීන් බවත් එම සංගමයේ සභාපති හෙද නිලධාරී ගාමිණී කුමාරසිංහ මහතා සඳහන් කරයි.
පවතින හෙද ආචාර්ය හිඟය නිසා පරිපාලන කටයුතු කරන හෙද ආචාර්යවරුන් 17 දෙනාද පරිපාලන කටයුතු අතරතුර ඉගැන්වීම් කටයුතු සිදුකරන බවද ඔහු පවසා සිටියේය.
හෙද ආචාර්යවරුන්ගේ හිඟය මග හරවාගැනීම සඳහා ආචාර්ය පුහුණුවට හෙද නිලධාරීන් 200 ක් පසුගිය අප්‍රේල් මාසයේදී බඳවාගත්තද, මෙතෙක් හෙද ආචාර්ය පුහුණුව ලබාදීම ආරම්භ කර නැතැයිද ගාමිණී කුමාරසිංහ මහතා සඳහන් කළේය.
මේ නිසා මෙම පිරිසට වහාම හෙද ආචාර්ය පුහුණුව ලබාදෙන ලෙසත්, පවතින හෙද ආචාර්ය හිඟය මගහරවාගැනීම සඳහා විශ්‍රාම ගොස් සිටින හෙද ආචාර්යවරුන් හා දැනට සේවයේ යෙදී සිටින ජ්‍යෙෂ්ඨ හෙද නිලධාරීන්ට කෙටිකාලීන පුහුණුවක් ලබා දී තාවකාලික හෙද ආචාර්ය තනතුරට බඳවාගන්නා ලෙසත් එම සංගමය ඉල්ලා සිටියි.
මෙම ආචාර්ය හිඟය නිසා හෙද ශිෂ්‍යයන්ගේ සායනික පුහුණුවීම් අධීක්ෂණය හෝ නිසිලෙස සිදු නොවන බවත්, එය ශිෂ්‍යන්ට සිදුකරන දැඩි අසාධාරණයක් බවත් හෙතෙම පවසා සිටියේය.