දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳ සැලක සේවය කළ තරුණයෙකු පැහැරගෙන ගොස් පහර දී, සාපරාධී ලෙස බියගන්වන ලද බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුව ලබන සැප්තැම්බර් මස 21 වැනිදා කැඳවීමට නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු පද්මිණී රණවක ගුණතිලක මහත්මිය එදින අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු විත්තිකරුවන්ට සිතාසි නිකුත් කළාය.
අධිචෝදනා පත්‍ර බාරදීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියම කරමින් විත්තිකරුවන්ට මෙලෙස සිතාසි නිකුත් කළ විනිසුරුවරිය මෙම නඩුවට අදාළ මුල් නඩු ගොනුව මහාධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ ලේඛාධිකාරීවරියටද නියම කළාය. පාර්ලිමෙන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට අමතරව අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියම කරමින් මෙලෙස සිතාසි නිකුත් කොට ඇත්තේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ ආරක්ෂකයන් හා ආධාරකරුවන් බව කියන පී.ඩබ්. කැලුම් නිරංජන, මලින්ද ජයතිලක, ආර්.ඒ. කසුන් සම්පත්, ඉන්දික රුවන් පුෂ්පකුමාර ද සොයිසා, මයිකල් ඇන්තනි ජොන්සන්, සංජීව අබේසිරිවර්ධන, නියාස් මොහොමඩ් රිස්වාන් සහ ජෙගනාදන් ඇන්තනි යන අට දෙනාටය.
2015 වසරේ දෙසැම්බර් මස 21 වැනිදා හෝ ඊට ආසන්න දිනයක දෙමටගොඩදී අමිල ප්‍රියංග අමරසිංහ නමැත්තා අයුතු ලෙස සිර කිරීමේ අදහසින් පැහැරගැනීමට කුමන්ත්‍රණය කිරීම, අමරසිංහ නමැත්තා අයුතු ලෙස සිරකිරීම පොදු අරමුණ කරගත් නීතීවිරෝධී රැස්වීමක සාමාජිකයන් ලෙස කටයුතු කිරීම, එලෙස කටයුතු කරමින් ඔහු පැහැරගෙන යාම, ඒ සඳහා ආධාර අනුබල දීම, සාපරාධී බලහත්කාරය පෑම, අඩත්තේට්ටම් කිරීම, සාපරාධී ලෙස බියගැන්වීම ඇතුළු චෝදනා 29 ක් යටතේ නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව පවරා ඇත.
සිද්ධිය සිදු වී මාස හතක් වැනි කාලයක් තුළ චෝදනා 29 ක් යටතේ නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා ඇති අතර, එම නඩුව සනාථ කිරීම සඳහා කුඩා දැරියක ඇතුළු සාක්ෂිකරුවන් දසදෙනෙකු මෙන්ම ලේඛන කිහිපයක්ද ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද නීතිපතිවරයා විසින් දැනුම් දී ඇත.
දෙමටගොඩ, බේස්ලයින් පාරේ පදිංචි කලීල් මොහොමඩ් සෆ්රිනාස් මහතා විසින් පොලීසියට පැමිණිල්ලක් කරමින් සුදු අත්කොට ෂර්ට් හා කළු කලිසම් ඇඳගත් පිරිසක් පැමිණ තම ආයතනයේ සේවය කරමින් සිටි අමිල ප්‍රියංග අමරසිංහ නමැත්තා පැහැරගෙන 62-1859 දරණ කළුපාට ඩිෆෙන්ඩර් රථයේ දමාගෙන ගිය බවට දැනුම් දී ඇත.
ඒ අනුව කොළඹ අපරාධ කොට්ඨාසය මෙම සිද්ධිය පිළිබඳ පරීක්ෂණ ආරම්භ කරන ලදුව සිද්ධියට සම්බන්ධිත සැකකරුවන් හා පැහැරගැනීමට යොදාගත් බව කියන ඩිෆෙන්ඩර් රථය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අතර, පසු අවස්ථාවකදී සැකකරුවන් ඇප මත මුදාහැරිණි.