මීගමුව කලපු සංවර්ධනය සඳහා අයවැයෙන් වෙන් කළ මුදලින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්රචාරක රැලියක් පැවැත්වීම, මීගමුව කලපු සංවර්ධනය නමින් සමරු පලකයක් ඉදිකිරීම හරහා රුපියල් කෝටි 1 1/2 කට අධික මුදලක් වැය කිරීම මගින් රජයේ මුදල් අවභාවිත කිරීම වන චෝදනා සම්බන්ධයෙන් හිටපු ධීවර ඇමති සරත් කුමාර ගුණරත්න මහතා ඇතුළු පස් දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට පියවර ගන්නා ලෙස බරපතළ වංචා සහ දූෂණ චෝදනා පිළිබඳ ජනාධිපති කොමිසම නීතීපතිවරයාට හා අල්ලස් කොමිසමට නිර්දේශ කළේය.
2014 දෙසැම්බර් 29 වැනිදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්රචාරක රැලියක් මීගමුවේදී පැවැත්වීම වෙනුවෙන් මීගමුව කලපු සංවර්ධනය සඳහා අයවැයෙන් වෙන්කළ මුදලින් රුපියල් 8,750,000ක්ද, එම මැතිවරණ ප්රචාරක රැලිය එල්.ඊ.ඩී. තිරයක් මගින් පෙන්වීමට රුපියල් 175,000ක්ද, එම මැතිවරණ ප්රචාරක රැලියට සහභාගිවූවන්ට ටී ෂර්ට් හා කැප් තොප්පි ලබාදීමට රුපියල් 1,255,000ක්ද, මීගමුව කළපු සංවර්ධනය නමින් සමරු පලකයක් ඉදිකිරීම සඳහා රුපියල් 1,845,000ක්ද වැය කිරීම මගින් රජයේ මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් මෙම පුද්ගලයන්ට එරෙහිව නඩු පැවරීමට පියවර ගන්නා ලෙස කොමිසම නීතීපතිවරයාට හා අල්ලස් කොමිසමට දැනුම් දී ඇත.