පසුගිය ජනාධිපතිවරණය සමයේදී මහජන සාමය ආරක්ෂා කිරීම සඳහා යුද හමුදාව කැඳවීමෙන් තමාගේ සහ මහජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූයේ යැයි පවසමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු නිලධාරීන් කිහිපදෙනෙකුට එරෙහිව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව මහතා ගොනුකළ පෙත්සම විභාගයට අවසර නොදී ප්‍රතික්ෂේප කිරීමට ඊයේ (31දා) ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය.
මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඊයේ (31දා) අගවිනිසුරු කේ. ශ්රීපවන්, විනිසුරු සිසිරද ආබ_ සහ විනිසුරු අනිල් ගුණරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම තීරණය ගැනිණි.
පෙත්සම්කරු මෙම පෙත්සමින් පවසා ඇත්තේ, හිටපු ජනාධිපතිවරයා පසුගිය ජනවාරි මස 2 වැනිදා නිකුත් කළ ගැසට් පත්‍රයට අනුව එම මස 3 වැනිදා සහ 8 වැනිදා යුද හමුදාව රටේ විවිධ ප්‍රදේශවලට අනියුක්ත කර ඇති බවත්, එමගින් ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වූ තමාගේත්, මහජනතාවගේත් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවත්ය.
මහජන ආරක්ෂණ ආඥා පනතේ ප්‍රතිපාදන අයථා ලෙස භාවිත කර මැතිවරණ කොමසාරිස්වරයාගේ නිර්දේශයක් නොමැතිව හිටපු ජනාධිපතිවරයා ආරක්ෂාව සඳහා හමුදාව කැඳවා ඇති බවට පෙත්සම්කරු චෝදනා කර සිටියේය.
පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ විරාත් කොරයා මහතා පවසා සිටියේ, මැතිවරණ සමයකදී ජනාධිපතිවරයා අවස්ථානුකූලව තීරණ ගැනීමේදී මැතිවරණ කොමසාරිස්ගේ නිර්දේශ අනුව කටයුතු කළ යුතුව තිබූ බවයි.
විශ්‍රාමික නීතිපති පාලිත ප්‍රනාන්දු මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටිමින් ප්‍රකාශ කර සිටියේ, මෙම ගැසට් පත්‍රය නිකුත් කිරීම මැතිවරණය ඉලක්ක කර සිදුකළ එකක් නොවන බවයි.
ඕනෑම අවස්ථාවකදී හමුදාව කැඳවීමට විධායක ජනාධිපතිවරයාට බලතල තිබෙන බවත්, ඒ සඳහා මැතිවරණ කොමසාරිස්වරයාගේ නිර්දේශ අවශ්‍ය නොවන බවත් ඔහු පැවසීය.
මහජන ආරක්ෂණ ආඥා පනත යටතේ ජනාධිපතිවරයා සෑම මසකට වරක්ම හමුදාව කැඳවීම සඳහන් කරමින් ගැසට් පත්‍රයක් නිකුත් කර ඇති බවත්, එය වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද සිදුකර ඇති බවත් හෙතෙම ප්‍රකාශ කර සිටියේය.
මෙම ගැසට් පත්‍රය නිකුත් කිරීම ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ඉතා වැදගත් එකක් වන බවත්, ඒ සඳහා විධායකයට පූර්ණ බලතල ඇති බවත් ඒ මහතා පැවසීය.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි සොලිස්ටර් ජෙනරාල් සුහද ගම්ලත් මහතාද පවසා සිටියේ, මෙම ගැසට් පත්‍රය නිකුත් කිරීම කාලයක් තිස්සේ දිගටම සිදුවන්නක් බවයි. තවද හිටපු ජනාධිපතිවරයාගේ තීරණය මැතිවරණය සඳහා බලපා ඇති බවට පිළිගත හැකි සාක්ෂිද නොමැති බව ඔහු පැවසීය.
අගවිනිසුරුවරයා සිය අදහස් දක්වමින් පවසා සිටියේ, පෙත්සම්කරුට හෝ කිසියම් පුරවැසියෙකුට හමුදාවෙන් බලපෑම් වූ බවට කිසිදු දිවුරුම් ප්‍රකාශයක් අධිකරණය හමුවේ නොමැති බවයි. එයින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට හැඟී නොයන බවත්, උතුරු ප්‍ර‘දේශයේ ඡන්ද භාවිතය ඉහළ ප්‍රතිශතයක් ගැනීමද පෙත්සම්කරුගේ මතයට පටහැනි බවත් අගවිනිසුරුවරයා පැවසීය.