"රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පන්සලක් පන්සලක් ගානේ ගිහිල්ලා මල් පූජා තියලා පිං රැස් කරගන්නවා වෙනුවට මහා පරිමාණ බොරු කියලා රට නොමඟ යවලා අපා ගත වෙන්න හදන්නේ.
එක පැත්තකින් කියනවා ජාතික ආරක්ෂාව අනතුරේ කියලා. මම එක දෙයක් පැහැදැලිව කියනවා. මම ආරක්ෂක රාජ්‍ය ඇමතිවරයා. අපේ ආරක්ෂක ඇමතිතුමා තමයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා. එතුමා වත් , මමවත් කිසිසේත්ම ජාතික ආරක්ෂාව දුර්වල වෙන්න ඉඩතියන්නේ නෑ. මම මේක යාපනයේදී ත් කිව්වා" යැයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැවැසීය.
අරලිය ගහ මන්දිරයේ පැවැති එක්සත් ජාතික පක්ෂ තරුණ හමුව අමතමින් අමාත්‍යවරයා මේ බව පැවැසීය.
"පවුල් පාලන බලයක් පරාජය කරපු රටේ ජනතාවට අද අවශ්‍යවී තිබෙනවා හිස ඔසවමින් තිබෙන දූෂිත රාජපක්ෂ පෙරමුණ මුළුමනින්ම පරාජය කිරීම සඳහා. ඒ සඳහා අපි දැඩි අධිෂ්ඨානයකින් යුතුව එක්සත් ජාතික පක්ෂ රජයක් බිහිකර ගැනීම සඳහා කැප වෙන්න ඕනි.
පරාජයට පත්වුණු රාජපක්ෂ කල්ලිය ඔවුන් සමඟ ගජ මිතුරන්ව කටයුතු කරපු දූෂිත පිරිස් මුළුමනින්ම පරාජය කිරීම අපි සියළු දෙනාටම පැවරෙන වගකීමක් සහ අභියෝගයක්. රාජපක්ෂ පාලනය රට රැගෙන ගිය අඳුරු දිශාව අපි වෙනස් කරලා තිබෙනවා.
එක්සත් ජාතික පාක්ෂිකයොවත් , රටේ අනෙකුත් දේශපාලන මත දරන පිරිස් වත්, විශ්වාස කළේ නෑ මේ තරම් ඉක්මනට රාජපක්ෂ පාලනය ගෙදර යවන්න පුළුවන්වෙයි කියලා. අපේ පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ බුද්ධි මහිමය නිසා අනෙකුත් විකල්ප දේශපාලන බලවේග වල දායකත්වය නිසා අපට ඒ ජයග්‍රහණය ලබන්න හැකිවුනා. දැන් අපි බලන්න ඕන කොහොමද මේ ජයග්‍රහණය තවදුරටත් තහවුරු කර ගන්නේ කියලා.
රාජපක්ෂ අපේ රටේ සියළු දේශපාලන පක්ෂ කඩා විනාශකරද්දී , බේදභින්න කරද්දී අපේ පක්ෂය රැකගන්න අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට හැකිවුණා. බලය නැතිව විවිධ තර්ජන , ගර්ජන හමුවේ අපේ පක්ෂය දශක දෙකක් රැකගන්න , ආරක්ෂා කරන්න රනිල් වික්‍රමසිංහ මහතාට හැකිවුණා.
පක්ෂය බෙදන්න හදපු , නායකත්වයෙන් එතුමා ඉවත් කරන්න හදපු සියළු බලවේග එතුමා පරාජය කලා. බලය නැතිව අවුරුදු විසි ගාණක් අපේ පක්ෂය රැකගන්න රනිල් වික්‍රමසිංහ මැතිතුමා සමත්වුනා. නමුත් බලය අහිමිවෙලා පැය 24ක් යන්න කලින් රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියළු තනතුරු අහිමිවුනා. ඔන්න ඕක තමයි අපේ නායකතුමයි අනෙකුත් පක්ෂ වල නායකයොයි අතර තියෙන වෙනස" යැයි ඔහු වැඩිදුරටත් පැවැසිය.