හරි ලකුණට වැරදී ඇතැයි තමන්ට බැනවදින පුද්ගලයන්ට ඉදිරියේදී නැවතත් හරි ලකුණ දමා පෙන්වන බවත්, තමන්ට ගූගල් හරීන් යැයි පවසන ආණ්ඩුවේ මැති ඇමතිවරුන් එම තාක්ෂණය පිළිබඳව නොදන්නා බවත් විදුලි සන්දේශ හා ඩිජිටල් යටිතල් පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.
හෙතෙම මේ බව පැවසුවේ, දුෂ්කර ප්‍රදේශවල තරුණියන් සඳහා වූ Connect to learn නමැති තාක්ෂණ පාඨමාලාව ආරම්භ කිරීම වෙනුවෙන් බදුල්ල ඔනික්ස් හෝටලයේදී පැවැති උත්සවයක් අමතමිනි.
" මගේ අමාත්‍යාංශ විෂය අමාරුයි වගේ පෙනුණට මේකෙ තියෙන්නෙ එකපාරට අද හෙට ගන්න පුළුවන් ප්‍රතිඵලයක් නෙවෙයි. මේ ප්‍රතිඵලය තියෙන්නෙ ඉස්සරහට. මට ගොඩක් ඡන්දය දීලා, විශාල බලාපොරොත්තුවක් තියාගෙන.
මට බනින මිනිස්සු මට දැන් කියන්නෙ හරි ලකුණට වැරදිලා කියලා. කොයි වේලාවේ හරි ආයෙත් හරිය දාලා පෙන්වනවා. ඒ නිසා මේ වේලාවේ මිනිස්සු බැන්නට ප්‍රශ්නයක් නැහැ. බනින ඒක හොඳයි. එතකොට තමයි මාත් පොඩ්ඩක් උනන්දු වෙලා එන්නෙ ඔබතුමාලාට මම විශ්වාසයක් දීලා තියෙනවා. ඒ විශ්වාසය කොහොමහරි ඉටුකරනවා. ඒක ඡන්දය ගන්න නොවෙයි" යැයි පවසා සිටියේය.
බදුල්ල - පාලිත ආරියවංශ /ඇල්ල - ප්‍රසාද් රුක්මල්