හමුවූ සිරුර දළ පූට්ටුවාගේ බව තහවුරුයි
පොල්පිතිගම මොරගොල්ලාගම, සොරොව්වැව ආසන්න රක්ෂිතය තුළ තිබී ඊයේ ( 29දා) සොයාගත් ඇතාගේ මළ සිරුර අතුරුදහන්ව සිටි ගල්ගමුවේ දළ පූට්ටුවාගේ සිරුර බව දේහය පිළිබඳ පැවත් වූ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් තහවුරු කර ගැනීමට හැකිවූ බව වයඹ පළාත් සහකාර වනජීවී අධ්යක්ෂ ඒ.එච්.සුමනසේන මහතා ප්‍රකාශ කරයි.
මළ සිරුර සොයාගත් ස්ථානයේදී අද (30දා) කොළඹ වනජීවී ප්‍රධාන කාර්යාලයෙන් පැමිණි පශු වෛද්‍ය තාරක ප්‍රසාද් මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර කලාපය භාර පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතාගේ සහභාගිත්වයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්විණි.
මෙම හස්තියාගේ පිටුපස වමි පාදයේ තුවාලයක් තිබී ඇති බවත් මීට මාස කිහිපයකට පෙර වනජීවී නිලධාරීන් විසින් ඊට ප්‍රතිකාර කර ඇති අතර එම තුවාලය මළ සිරුරේ එලෙසින්ම පැවතී නිසා සිරුර ගල්ගමුවේ දළ පූට්ටුවාගේ බව නිශ්චිත ලෙසම තහවුරු කර ගැනීමට හැකිවූ බව වයඹ පළාත් වනජීවී අධ්යක්ෂවරයා මෙන්ම වනජීවී නියාමක අසේල වික්‍රමසේකර මහතාද ප්‍රකාශ කරයි.
මෙම හස්තියා මීට සති දෙකක හෝ සති හතරක කාලය ඇතුළත ඝාතනය කරන්නට ඇති බවද පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ පශු වෛද්‍යවරු ප්‍රකාශ කර ඇත.
මෙම හස්තියා අත්තුවක්කුකින් වෙඩි තබා ඝාතනය කර ඇති බවටද පශ්චාත් මරණ පරීක්ෂණයෙන් තහවුරු ව තිබේ. ඇතාගේ හිස තුළ ඊයම් බෝල දහයක් තිබී සොයාගත් බව හේරත්ගම අඩවි වන කාර්යාලායේ වනජීවී නියාමක අසේල වික්‍රමසේකර මහතා ප්‍රකාශ කරයි. වෙඩි පහරින් ඇතාගේ මොලයට සිදුවූ හානියෙන් මරණය සිදුව ඇති බවට වෛද්‍ය පරීක්ෂණයේදී නිගමනය කර ඇත.
යාපහුව සුනිල් කහගල්ල
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


