ඉන්දියානු සාගරයේ රීයූනියන් දූපතට ගොඩගසා තිබූ ගුවන් යානා කොටස පුද්ගලයන් 239 දෙනෙකු සමග 2014 මාර්තුවේදී අතුරුදන් වූ MH370 යානයේදැයි සැකයක් මතුව තිබේ.
ඒ අනුව, මෙම කොටස අතුරුදන් වූ බෝයිං 777 වර්ගයේ මැලේසියානු යානයේ කොටසක් දැයි පරීක්ෂා කිරීමට මැලේසියාව විසින් විශේෂඥයන් කණ්ඩායමක් එම දූපත වෙත යවා තිබේ.
මේ අතර, ගුවන්යානා විශේෂඥයන් පවසන්නේ මෙම සුන්බුන් කොටස බෝයිං 777 ගුවන්යානාවල තටුවක කොටසක් බවට විශ්වාස කළ හැකි බවයි.
නමුත්, මැලේසියානු ගුවන් සමාගම පෙන්වා දෙන්නේ ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන තුරු නිවැරදි තොරතුරු ඉදිරිපත් කළ නොහැකි බවයි.
මැලේසියාවේ ක්වාලලම්පූර් නුවර සිට චීනයේ බිජිං බලා පියාසර කරමින් තිබියදී මගීන් 227ක් හා කාර්ම මණ්ඩලය සමග පුද්ගලයන් 239ක් සමග යානය අතුරුදන් වනවිට එහි චීන ජාතිකයන් 153 දෙනෙකු හා මැලේසියානු ජාතිකයන් 38 දෙනෙකු ගමන් කරමින් සිටියහ.
යානයේ හමුවූ කොටස අඩි 6ක් පමණ දිග වන බවත්, එය මැඩගස්කරයට නැගෙනහිරින් කිලෝමීටර් 600ක් පමණ දුරින් වූ රීයූනියන් දූපතට බදාදා හවස්වරුවේ ගොඩසා තිබුණු බවත විදෙස් වාර්තා පවසයි.
අතුරුදන් වූ MH370 යානය පිළිබඳ හෝඩුවාවන් සොයා ඔස්ට්‍රේලියාව ප්රමුඛ රාජ්‍යයන් රැසක් ඉන්දියානු සාගරයේ දක්ෂිණ කලාපයේ දැවැන්ත මෙහෙයුමක් සිදුකළද යානය හමු නොවීය. නමුත්, මේ වනවිට යානයේ කොටසක් යැයි විශ්වාස කරන කොටස ගොඩගසා ඇත්තේ එම සෝදිසි මෙහෙයුම් කලාපයට කිලෝමීටර් 6,000ක් පමණ නැගෙනහිරින් වූ ප්‍රංශ කලාපයේ රීයූනියන් දූපතට බවද විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.