හම්බන්තොට වරායේ තෙවැනි අදියර ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකාව ණය ලබානොගන්නා බව ජාත්‍යන්තර වෙළෙඳ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා ප්‍රකාශ කළේය.
වරාය චීනයට පැවරීමේ ගිවිසුම සඳහා ඉතා ඉක්මනින් අත්සන් තබන බවද අමාත්‍යවරයා පැවසුවේ ඊයේ (22දා) පාර්ලිමේන්තු සංකීරණයේ පැවැති කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමිනි.
ඒ අනුව 80%ක් චීනයට සහ 20%ක් ශ්‍රී ලංකාවට කොටස් හිමිවන පරිදි වරායේ කටයුතු සිදුකරන බවත්, වසර දහයකට පසු හම්බන්තොට වරායේ තවත් 20%ක් ලබාදීමට චීනය එකඟ වී ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.
එමෙන්ම ඉදිරි කාලය තුළදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය තවදුරටත් ශක්තිමත් කළ හැකි වුවහොත් වරාය සම්බන්ධ කොටස් තවදුරටත් ශ්‍රී ලංකාවට ලබාගත හැකි බවද සුජීව සේනසිංහ අමාත්‍යවරයා පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“මේ වනවිට හම්බන්තොට වරාය 80%, 20% කොටස් අනුව මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යන්න තීරණය කර තිබෙනවා. වසර දහයකින් පසු තවත් 20% ක කොටසක් ලබාදීමට චීනය එකඟ වී තිබෙනවා. එවිට 60%, 40% ලෙස එය පවත්වාගෙන යන්න පුළුවන්. ඉදිරියේදී ලාංකාවේ ආර්ථිකය දියුණු වෙනවා නම්, ලංකාවට මුදල් තිබෙනවා නම් ඉතිරි කොටස් චීනයෙන් ලබාගන්න පුළුවන්. වරායේ පළමු හා දෙවැනි අදියර ඉදිකිරීමට 07% ක පොලියට අපි ණය ගත්තේ. නමුත් වරාය තුන්වැනි අදියර ක්‍රියාත්මක කිරීමට අපි ණයක් ගන්නේ නැහැ. ගිවිසුම අත්සන් කිරීම ඉතාම ඉක්මනින් සිදුකරනවා.
මේක ක්‍රියාත්මක කරද්දි සියල්ලන්ගේම අදහස් ලබාගන්න වෙනවා. අමාත්‍යාංශ කිහිපයක් සම්බන්ධ වෙනවා . ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඉන්නවා. මේ සියල්ලන්ගේම අදහස් එද්දි පොඩි කාලයක් ගතවෙනවා. නමුත් අපි තීන්දුවක් අරගන්නේ මහජනතාවට උපරිම වාසිය වෙන විදිහට'' යැයි කියා සිටියේය.
මෙහිදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු කටයුතු හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසුවේ'' අවශ්‍ය ඕනෑම විටක සංශෝධන ඉදිරිපත් කිරීමට හැකි ආකාරයෙන් මේ සඳහා කැබිනට් අනුමැතිය ලබා දුන්නා. රටේ සංවර්ධනට දැවැන්ත කාර්යයක් ඉටුකරන අවස්ථාවක් නිසා ඒ පිළිබඳ ක්‍රියාත්මක වීමට අමාත්‍ය අනු කමිටුවක් පත්කළා'' යනුවෙනි.