වෛද්‍යවරුන් 7 දෙනෙකුගේ හා පවුල් සෞඛ්‍ය නිලධාරිනියන් දෙදෙනකුගේ නොසැලකිල්ල නිසා තම හත්මස් ගර්භිණී බිරිඳ මිය ගියේ යැයි සඳහන් කරමින් ඒ සඳහා රුපියල් මිලියන 400ක වන්දියක් ඉල්ලා දිනේෂ් කඩදොර නමැත්තෙකු නඩු පවරා තිබේ.
ශ්වසන අපහසුතාවක් හේතුවෙන් රෝහල්ගත කළ සිය හත්මස් ගැබිනි බිරිඳ වෛද්‍යවරුන්ගේ නොසැකිලිමත් බව හේතුවෙන් මියගියැයි පවසා ඔහු ගම්පොළ රෝහලේ වෛද්‍යවරුන් හය දෙනෙකුගෙන් රුපියල් මිලියන 200ක් වන්දි ඉල්ලා තිබේ.
එමෙන්ම ඔහු තම බිරිඳ ගර්භිණීව සිටියදී පූර්ව ප්‍රසව සායන සංරක්ෂණය නිසි ලෙස සිදුනොකොට ඇතැයි චෝදනා කරමින් ගම්පොළ දොළුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ වෛද්‍යවරයා ඇතුළු පවුල් සෞඛ්‍ය නිලධාරිනියන් දෙදෙනෙකුගෙන්ද තවත් රුපියල් මිලියන 200ක වන්දි මුදලක් ඉල්ලා නඩු පවරා ඇත.
ඒ අනුව විත්ති උත්තරය සඳහා දොළුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන්ට ලබන මාර්තු මස 08 වන දිනත්, ගම්පොල රෝහලේ වෛද්‍යවරුන්ට ලබන පෙබරවාරි 08 දිනත් අධිකරණයේ පෙනී සිටින ලෙස ගම්පොළ මහේස්ත්‍රාත් හා දිසා විනිසුරු උපුල් රාජකරුණා මහතා නියෝග කර ඇත.
හත්මස් ගැබිනියක වූ ගම්පොළ නරංවිට පදිංචිව සිටි ඩී.එම්. මල්කාන්ති දිසානායක නමැති අය 2013.11.25 වන දින ගම්පොල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඇයගේ දරුවා සමගම ඇය මියගොස් ඇත. මෙම මරණයට හේතුව වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ල හා ඇයගේ රෝගී තත්ත්වය පරීක්ෂා නොකොට පැය කිහිපයක් තබාගෙන සිටීම හා අකාරුණිකව සැලකීම නිසා බව සැමියා වන දිනේෂ් කඩදොර සඳහන් කරයි.
එමෙන්ම 2013.07.11 සිට 2013.10.24 දක්වා ගැබිනි සමයේදී පූර්ව ප්‍රසව සායන සංරක්ෂණය සිදුකළ දොළුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් ඇයගේ එම කටයුත්ත නිසි ලෙස සිදුකර නොමැති බව සඳහන් කරමින් අධිකරණය වෙත කරුණු දක්වා තිබේ.