සෝභිත හිමි රනිල් චන්ද්‍රිකා ෆොන්සේකා පොදු අපේක්ෂකයෙකුට එකඟයි
12 වැනිදායින් පසු ගතවන කාලය තීරණාත්මකයි -විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ
පොදු අපේක්ෂකයා ජීවිතයත් මරණයත් අතර සටනක් බලාපොරොත්තු විය යුතුයි - ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා
විධායක ජනාධිපති ධුරය අහෝසි කරගැනීමට ඉදිරි ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම වෙනුවෙන් විපක්ෂයේ දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන ගණනාවක් එක්ව ඊයේ (10දා) ප්‍රසිද්ධියේ පොදු එකඟතාවකට එළඹුණහ.
සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය විසින් කෝට්ටේ සෝලිස් ශාලාවේදී සංවිධානය කර තිබූ මෙම විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවකට එක්සත් ජාතික පක්ෂය, ප්රජාතන්ත්රවාදී පක්ෂය, ප්රජාතන්ත්රවාදී ජනතා පෙරමුණ, ජාතික සමගි පෙරමුණ, රුහුණු ජනතා පක්ෂය ඇතුළු දේශපාලන පක්ෂ ද පෞද්ගලික බස්හිමියන්ගේ සංගමය, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඇතුළු සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති නියෝජනය කරමින් නියෝජිතයන් රැසක්ද ලංකා සම සමාජ පක්ෂයේ සහ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ මාධ්‍ය කාරක සභිකයෝද එක්ව සිටියහ.
ජනාධිපති මහින්ද රාජක්ෂ මහතාගේ පාලනය දූෂිත එකක් බවත්, එය පෙරළා දමා ජනතාවාදී පාලනයක් ඇති කළ යුතු බව මෙහිදී අවධාරණය කළ දේශපාලන නායකයෝ විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීමට එම පොදු අපේක්ෂකයා කැපවෙනු ඇති බවත් අවධාරණය කළහ.
සෑමදෙනාටම පිළිගත හැකි, සෑම දෙනාගේම විශ්වාසය ඇති සෑමදෙනාගේම ආශිර්වාදය ලබන පොදු අපේක්ෂකයෙකු හඳුනාගෙන ඇති බවත්, සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියෝ මෙහිදී අවධාරණය කළහ.
මෙම ගමනට එක්වන්නැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාටද ආරාධනා කරන බවද උන්වහන්සේ කියා සිටියහ.
12 වැනිදායින් පසු ගතවෙන සති කිහිපය තීරණාත්මක කාලපරිච්ඡේදයක් විය හැකි බවත් නිදහස් සාධාරණ මැතිවරණයක් පවත්වන ලෙසට ආණ්ඩුවට බලකරමින් ජනතාව පාරට බස්සන බවත් මෙහිදී අදහස් දැක්වූ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළ අතර මේ මොහොතේදී නිදහස් හා සාධාරණ මැතිවරණයකට බාධා වන පරිදි මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කරමින් සිටින බවද කියා සිටියේය.
විධායක ජනාධිපති ධුරය සම්බන්ධව විපක්ෂයේ කණ්ඩායම් අතර විවිධ මත තිබුණද මාදුළුවාවේ සෝභිත හිමියන් එම සියලු පක්ෂ එක තැනකට ගෙන ආ බවත්, එවැනි දෙයක් සිදුවූයේ ප්‍රථම වරට බවත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය.
ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා අදහස් දක්වමින් විධායක ජනපතිධුරය අහෝසි නොකර එහි හානිකර බලතල ඉවත් කළ යුතුය යන ස්ථාවරයේ තමන් සිටින බව කියා සිටියේය. විධායක ජනපති ක්රමයේ හානිකර බලතල උපයෝගී කරගෙන වත්මන් ජනාධිපතිවරයා අසීමිතව දූෂණ වංචා සිදුකරන බවත්, එය නතර කර ගැනීමට ගන්නා වූ ඕනෑම වැඩපිළිවෙලකට තමන්ගේ සහය ලැබෙන බවත් හෙතෙම පැවසීය.
පොදු අපේක්ෂකයා සම්බන්ධව අදහස් පළකළ සරත් ෆොන්සේකා මහතා පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වන කෙනා ජීවිතයත් මරණයත් අතර සටනක යෙදීමට බලාපොරොත්තු විය යුතු බවද සඳහන් කළේය.
2010 වසරේදී පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීමෙන් පසු සිදුවූ දේවල් සිහිවෙද්දී ඇගේ මයිල් කෙලින්වන බව පැවසූ ෆොන්සේකා මහතා මැතිවරණය සමයේ බොහෝදෙනා ළංවුවද ඉන් පසුව ඒ සියලුදෙනා අතහැර යන බව පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වෙන පුද්ගලයා සිහියේ තබාගත යුතු බවද ප්‍රකාශ කළේය.
ඔහුට සිරගෙවල්වල ලැගීමට ද සිදුවිය හැකි බවත්, එම අවස්ථාවලදීද සියලුදෙනා අතහැර යන බවත්, තනිවම ඒ දේවල්වලට මුහුණදීමට බලාපොරොත්තුවෙන් ඉදිරිපත් වන ලෙසත් හෙතෙම කීය.
මේ අතර ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා ද මෙම අවස්ථාවට පැමිණ සිටි අතර මාදුළුවාවේ සෝභිත හිමියන් විසින් ගෙන යන වැඩපිළිවෙල දිනවීමට තමාගේ පූර්ණ සහය ලබාදෙන බව එහිදී ඔහු පැවසීය.
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මියද මෙම වැඩපිළිවෙලට සුබපතමින් විශේෂ පණිවුඩයක් එවමින් දැනට රට තුළ ඒකාධිපති පාලනයක් ගෙන යන මහින්ද රාජපක්ෂ මහතා සියලු ප්රජාතන්ත්රවාදී ලක්ෂණ බිඳ හෙළා ඇති බවත් එයට එරෙහිව ජනබලවේගයක් ගොඩනගා ගැනීම අවශ්‍ය බවත් සඳහන් කර තිබුණි. මේ සඳහා විපක්ෂයෙන් ඉදිරිපත් කිරීමට යන පොදු අපේක්ෂකයාගේ ජයග්‍රහණය වෙනුවෙන් උපරිම සහාය ලබාදෙන බවද එහි සඳහන් විය.
එම නිවේදනයේ මෙසේ වැඩිදුරටත් සඳහන් විය.
අද දින දේශපාලන පක්ෂ සහ සිවිල් කණ්ඩායම් ගණනාවක් එක්ව රට තුළ පුළුල් වෙනසක් කිරීමට ගෙන යන වැඩපිළිවෙලට මම සුබපතනවා. නීතියේ ආධිපත්‍ය බිඳවට්ටවා පුරවැසියන්ගේ අයිතිවාසිකම් අහිමි කරමින් කටයුතු කරන වත්මන් ආණ්ඩුව ප්රජාතන්ත්රවාදී ආණ්ඩුකරණයේ අත්‍යවශ්‍ය ආයතන වන අධිකරණයේ සහ රාජ්‍ය සේවයේ ස්වාධීනත්වයට හානි ගෙනදෙමින් මිනිස් නිදහසට හා යහපාලනයට බාධාකරමින් සිටිනවා.
මේ සඳහා විධායක ජනපති ක්‍රමය හේතුවී තිබෙන අතර, විධායකයේ වත්මන් ප්‍රධානියා ආණ්ඩුකරණයට යොදවන අනිසි බලපෑම් හේතුවෙන් මේ තත්ත්වය උදාවී තිබෙනවා.
විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීම, 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය යළි බලගැන්වීම ප්රජාතන්ත්රවාදී ආණ්ඩුකරණයකට අත්‍යවශ්‍යයි.
ඒ වෙනුවෙන් කටයුතු කරන මෙම එකමුතුවට සහ ඔවුන්ගේ අරමුණට මාගේ ආශීර්වාදය හා පූර්ණ සහය පළ කර සිටින බව දන්වා සිටිමි.
පූජ්‍ය නිතියාවල පාලිත හිමියන් ප්රමුඛ භික්ෂූන් වහන්සේලා ද අන්‍ය පූජකතුමන්ලාද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

