සේරුවිල විහාරස්ථානයේ අධිපතිභාවයට පිළිබඳව පැන නැගී ඇති ගැටලුවට මහමෙව්නාවේ නිර්මාතෘ පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමිගේ හෝ මහමෙව්නාවේ කිසිඳු සබඳතාවක් නොමැති බව මහමෙව්නාව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එහි අධිපතිභාවය අධිකරණයෙන් තීන්දු විය යුක්තක් බවත් සේරුවිල විහාරස්ථානයේදී මහමෙව්නා හිමිපාණනන් වහන්සේලා පිංකම් කළේ විහාරස්ථානයට අයිතිවාසිකම් කීමේ අරමුණින් නොවන බවත් එම නිවේදනයේ වෙයි.
නිකුත් කළ නිවේදනය
අපවත් වී වදාළ සේරුවිල මංගල රාජමහා විහාරාධිපති ශ්‍රී කල්‍යාණවංශ නිකායෙහි අනුනායක අතිපූජ්‍ය සේරුවිල සරණකිත්ති මාහිමිපාණන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය පිළිබඳ කථාබහ පවතින අතරේ සේරුවිල රාජමහා විහාරස්ථානයේ අධිපතිභාවය පිළිබඳ දෙපාර්ශවයක් අතර ගැටලූ පැන නැගී ඇති බවට මාධ්‍ය වලින් විවිධ තොරතුරු දැනගන්නට ලැබේ. එහි එක් පාර්ශවයක් ලෙස පූජ්‍යපාද කොටපොල අමරකිත්ති ස්වාමීන් වහන්සේ ප්රමුඛ භික්ෂූන් වහන්සේලා කීප නමක් පිළිබඳව මාධ්‍ය වලින් තොරතුරු දක්නට ලැබේ.
එනමුදු අනිත් පාර්ශවය පිළිබඳව නම සඳහන් නොවන හෙයින් පූජ්‍යපාද කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ සහ මහමෙව්නාව භාවනා අසපුව ඈඳා ගන්නට උත්සහ දරන බව අපට දකින්නට ලැබේ. එහි අනිත් පාර්ශවය නම් පූජ්‍යපාද මුංහේනේ මෙත්තාරාම ස්වාමීන් වහන්සේ ඇතුලූ සඟ පිරිසකි. සේරුවිල අධිපතිභාවය පිළිබඳ අයිතිය අධිකරණයෙන් තීන්දු විය යුත්තක් හෙයින් ඒ පිළිිබඳව අපි කිසිවක් නොපවසමු.
විශේෂයෙන් ම සැදැහැවත් බෞද්ධ ජනතාවට අප දැනුම් දෙන්නේ සේරුවිල විහාරාධිපති පදවිය පිළිබඳ අර්බුදයට පූජ්‍යපාද කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ හෝ මහමෙව්නාව භාවනා අසපුව කිසිසේත් සම්බන්ධ නැති බවයි. මෙතෙක් කලක් සේරුවිල විහාරස්ථානයේ මහමෙව්නාවේ සඟ පිරිස වැඩ වසමින් වත් පිළිවෙත් කිරීම්, රන්වැට පූජා කිරීම් ආදී සියලූ පින්කම් කරනු ලැබුවේ අපවත් වී වදාළ ගුරුදේව මාහිමිපාණන් වහන්සේගේ ඉල්ලීමට පමණි. එසේ නොමැතිව සේරුවිල අයිතිවාසිකම් කීමේ අදහසින් නොවේ. ඉදිරියෙහිද එබඳු අදහසක් නැත්තේය.
මෙයට
මහමෙව්නාව භාවනා අසපුව.