සෙලින්කෝ මූල්‍ය වංචා සිද්ධියට අදාළ කිසිදු නඩුවක් විභාග කිරීමට තමා මින් ඉදිරියට මැදිහත් නොවන බව අගවිනිසුරු මොහාන් පීරිස් මහතා ඊයේ (28දා) දැනුම් දුන්නේය.
තමා සම්බන්ධ කරමින් ලැබී ඇති නිර්ණාමික ලිපි හේතුවෙන් තමා මෙම තීරණය ගත් බවද මොහාන් පීරිස් මහතා වැඩිදුරටත් කීය.
සෙලින්කෝ මූල්‍ය වංචා සිද්ධිවලට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පවරා තිබූ පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී අගවිනිසුරුවරයා එසේ කීය.
එහිදී අධිකරණය ඇමතූ අගවිනිසුරු මොහාන් පීරිස් මහතා "මෙම නඩු විභාග කිරීමේ කටයුතුවල මා නිරතවීම දෝෂදර්ශනයට ලක්කරමින් නිර්ණාමිකව එවූ ලිපි කිහිපයක්ම මට ලැබී තිබෙනවා.
මා නීතිපතිවරයා ලෙස කටයුතු කරන සමයේදී පවරන ලද මෙම නඩුවල වගඋත්තරකරුවෙකු ලෙස මාවත් නම් කර තිබෙනවා සෙලින්කෝ ව්‍යාපාර සමූහයට අයත් සෙලාන් බැංකුවේ සභාපතිවරයා ලෙස මා කටයුතු කර ඇති බවද මේ නිරනාමික ලිපිවල සඳහන් කර තිබෙනවා. මේ තත්ත්වය හේතුවෙන් මෙම නඩු විභාග කිරීමේ කටයුතුවලට මා මැදිහත් වන්නේ නැහැ" යැයි මොහාන් පීරිස් මහතා වැඩිදුරටත් කීය.
මෙම පෙත්සම ලබන සැප්තැම්බර් පළමුවැනිදා යළි කැඳවීමට නියම කෙරිණි.